මහනුවර දිස්ත්‍රික්කයේ හසලක නගරයට මායිම්ව පිහිටි පමුණුපුර ප්‍රදේශයේ ගම්මාන 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ජන ශූන්‍ය කලාප හැටියට නම් කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. උඩත්තව, නෙළුම් මල, ගල මුදුන, මැද කැලේ සහ උඩගල් දෙබොක්කාව යනු මෙම ගම්මානයි
පසුගිය දා ඇතිවූ “දිට්වා” සුළි කුණාටුවේ බලපෑමට ලක්ව නාය යෑම නිසා අඩි 40ක් පමණ ගැඹුරට පස් කඳු කඩාවැටීමෙන් මෙම ගම්මාන යට වී ඇති බැවින් එම කලාප ජන ශූන්‍ය කලාප හැටියට නම් කෙරෙන බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුවේ සහකාර අධ්‍යක්ෂ එල්. ඒ. කේ. රණවීර සඳහන් කළේ ය.
මෙහිදී උඩත්තාව නමැති ගම්මානයේ පිහිටි නිවාස 12කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් යට වූ අතර පදිංචිකරුවන්ගේ මෘත දේහ 26ක් පමණ දැනට සොයා ගෙන තිබේ.
මෘත දේහ අඩි 30 – 40ත් අතර ගැඹුරක පවතින බැවින් එම සංඛ්‍යාව කොපමණදැයි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ඇතුළු කිසිම නිලධාරියකුට නිශ්චිත වශයෙන් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇත.
මේ වනවිට එම ගම්මානවල කැණීම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුවේ සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ (NRBO) අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන සඳහන් කළේ තවදුරටත් නාය යන බවට අනුමාන කෙරෙන අධිඅවදානම් සහිත ප්‍රදේශවල කිසි සේත්ම නැවත පදිංචි කිරීම් සිදු නොකරන බවය.
ඒ අනුව දැනට නාය යෑමට ලක්ව ඇති ප්‍රදේශ තක්සේරු පරීක්ෂාවන්ට ලක් කරමින් පවතින අතර එම ප්‍රදේශවල පදිංචි වී සිටින ජනතාව වෙනත් ස්ථානවල නැවත පදිංචි කිරීම් සිදු කිරීමට රජය තීරණය කර තිබේ.
මෙහිදී ඉදිරියේදීත් මෙම ප්‍රදේශවල නාය යෑම් පිළිබඳව හඳුනා ගැනීමේ අරමුණින් 3D තාක්ෂණය යොදාගෙන මොරටුව විශ්වවිද්‍යාල සිවිල් ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුරගේ ප්‍රධානත්වයෙන් සමීක්ෂණයක් සිදුකර තිබේ.
නකල්ස් කන්දට මායිම්ව පිහිටි යහංගල කන්ද පිළිබඳව සහ අවට ගම්මාන පිළිබඳව වර්ග කිලෝමීටර 10ක 3D නිර්මාණය කිරීමේදී හඳුනාගෙන ඇත්තේ මෙම කන්ද නිදන් ජාවාරමට සම්බන්ධ පිරිස් විසින් රසායන ද්‍රව්‍ය යොදාගෙන සහ බෝර දමා යම් පිපිරීමකට ලක් කර ඇති බවය. එහිදී ඇතිවූ දැඩි කම්පන තත්ත්වයේ බලපෑම හේතුවෙන් යහංගල කන්ද මෙලෙස නාය යෑමට ලක්වීම අනුමාන කරන බවය.
මිණිපේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලීමකට අනුව සිදුකෙරුණු මෙම සමීක්ෂණ වාර්තාව ඉදිරියේදී බොහෝ වැදගත් වන අතර දැනටමත් එම වාර්තාව මිණිපේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලබා දී ඇතැයි මොරටුව විශ්වවිද්‍යාල සිවිල් ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර වැඩිදුරටත් සඳහන් කරයි.
