ඡායාරූප මාධ්‍යවේදි තිළිණ කළුතොටගේ, ඉන්දියාවේදී විශේෂ ගෞරව සම්මානයකින් පිදුම් ලබයි |

 ඡායාරූප මාධ්‍යවේදි තිළිණ කළුතොටගේ, ඉන්දියාවේදී විශේෂ ගෞරව සම්මානයකින් පිදුම් ලබයි!

ඡායාරූප මාධ්‍යවේදි තිළිණ කළුතොටගේ, ඉන්දියාවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 'විශේෂ ගෞරව සම්මානයකින්' පිදුම් ලබා තිබෙනවා.

ඒ, "The Sanctuary Wildlife Photography Awards 2025" නම්, ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රමුඛතම වනජීවී සහ සංරක්ෂණ (Wildlife & Conservation) සම්මාන උළෙලේදීයි.

මෙම වාර්ෂික සම්මාන උළෙල පරිසරය වෙනුවෙන් කැප වූ විශිෂ්ට පරිසරවේදීන්, සංරක්ෂණවේදීන්, ගුරුවරුන් මෙන්ම තරුණ පරිසරවේදීන් ආදී රැසක් ඇගයීමට ලක් කරන්නකි.

ඒ අනුව ආසියාව තුළ ලබා ගත් විශිෂ්ට ඡායාරූප දස දහස් සංඛ්‍යාවක් මෙම 'Sanctuary Asia Photo Award' සඳහා ඉදිරිපත් කර ඇත. 

ඊට තිළිණ කළුතොටගේ විසින් ඉදිරිපත් කර තිබූ, "Blind Misadventure" නම් ඡායාරූපය මෙලෙස විශේෂ ගෞරව සම්මානයකින් පිදුම් ලැබීය.

මෙම ඡායාරූපය මාතලේ, නාවුල ප්‍රදේශයේදී Relocation (නැවත ස්ථානගත කිරීම) සඳහා අල්ලාගත් වන අලියෙකුගේ ඡායාරූපයකි.

අන්ධ බවින් පෙළෙන මෙම වන අලියා, නාවුල ප්‍රදේශයේ වගා සහ නිවාස හානි කිරීම යන හේතු මත හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙනයෑම සඳහා ගම්මානයේ සිට අල්ලාගත් අවස්ථාවක් මෙම ඡායාරූපයේ නිරූපණය කෙරේ.

මෙහි වන අලියාගේ කකුල් හතර ගස් හතරක ගැට ගසා ඇති අතර, සත්ත්වයා ගෙන යාමට පැමිණි ට්‍රක් රථයක් සහ ඩෝසරයක් පසෙකින් දිස් වේ.

 වන අලියාගෙන් ගම්මානයට කෙසේ හානි වූවත් ඒ දෙස කනස්සලෙන් සහ උමතුවෙන් බලා සිටින ගම්වාසීන් විශාල පිරිසක් ද මෙම ඡායාරූපයේ නිරූපිතය.

තිළිණ කළුතොටගේ මෙලෙස ගෞරව සම්මාන ලද සම්මාන උළෙල, Sanctuary Asia පදනමේ නිර්මාතෘ වන "Bittu Sahgal" මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ මුම්බායි හි ජාතික රංග කලා මධ්‍යස්ථානයේදී (NCPA) පැවැත්විණ.




Previous Post Next Post

Contact Form