මෑතකදී රට තුළ ඇතිවූ ආපදා තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කළ පුද්ගලයන්ට හෝ මාධ්‍ය ආයතනවලට දඬුවම් කිරීමට දරන උත්සාහය සාධාරණ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
තවද, සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකුට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පහර දුන් බවට වාර්තා වූ සිද්ධිය පිළිබඳවද රාජපක්ෂ මහතා අදහස් දැක්වීය. ඔහු පෙන්වා දුන්නේ, අදාළ මන්ත්‍රීවරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඒ වෙනුවට මෙම සිදුවීම පිළිබඳව මහජනතාව දැනුවත් කළ මාධ්‍ය ආයතන මර්දනය කිරීමට උත්සාහ කරන බවය.
එම මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම් දීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට කිසිදු ලැජ්ජාවක් නොමැති බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
මේ වන විට පොලිස්පතිවරයා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ආණ්ඩුවේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස කටයුතු කරන බවට පෙනී යන බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, රජය මෙම තත්ත්වය බරපතළ ලෙස නොසලකන අතර එය දේශපාලනික විහිළුවක් බවට පත් කර ඇති බවයි. යම් රාජ්‍ය නිලධාරියෙකු විසින් අමාත්‍යාංශය සහ රාජ්‍ය නායකයා දැනුවත් කිරීමෙන් පසු යම් තොරතුරක් මාධ්‍ය හරහා හෙළිදරව් කළේ නම්, ඒ පිළිබඳව ක්‍රියාත්මක නොවී එම තොරතුරු රටට දැනුම් දුන් පුද්ගලයන්ට දඬුවම් කිරීමට උත්සාහ කිරීම සාධාරණ නොවන බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය. එක් මාධ්‍ය ආයතනයකට තර්ජනය කළ විට එය අනෙකුත් මාධ්‍ය ආයතන වෙත ද බලපානු ඇති බවද ඔහු අනතුරු ඇඟවීය.
එක් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් ගංජා වගාවක් පවත්වාගෙන ගිය බවට තොරතුරු වාර්තා වූ බවත්, එම වගාව වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකුට අදාළ මන්ත්‍රීවරයා පහර දුන් බවත් රාජපක්ෂ මහතා සිහිපත් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරියා ස්ථාන මාරු කර සිරගත කර ඇති අතර, පහර දුන් මන්ත්‍රීවරයාත්, ගංජා වගාවේ හිමිකරුත් තවමත් නිදැල්ලේ සිටින බව ඔහු පෙන්වා දුන්නේය. එහෙත්, මෙම සිදුවීම පිළිබඳව ජනතාව දැනුවත් කළ මාධ්‍ය ආයතන මර්දනය කිරීමට රජය උත්සාහ දරන බවද ඔහු චෝදනා කළේය.
සංවිධානාත්මක අපරාධකරුවන් විසින් නිරන්තරයෙන් මිනිස් ජීවිත නැති කරන තත්ත්වයක් තුළ, පොලිස්පතිවරයාට හෝ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට ඒ පිළිබඳව සොයා බැලීමට වෙලාවක් නොමැති බවත්, පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය රැක ගැනීමට ඔවුන් මැදිහත් නොවන බවත් රාජපක්ෂ මහතා කණගාටුවෙන් ප්‍රකාශ කළේය. ඒ වෙනුවට, පොලිස්පතිවරයා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රජයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරුන් බවට පත්ව ඇති බවට ඔහු දැඩිව විවේචනය කළේය.