කොත්මලේ යලි උපරිම ධාරිතාවට ලගාවේ..! DMC හදිසි දැනුම්දීමක්...

 කොත්මලේ ජලාශයේ ජල මට්ටම උපරිම මට්ටමට ලඟා වෙමින් පවතින බවට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින්  (දෙසැම්බර් 06) හදිසි දැනුවත් කිරීමක් සිදු කර ඇත.

දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ (ආපදා කළමනාකරණ) අයි.ඒ.කේ. රණවීර මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, 2025 දෙසැම්බර් 06 වන දින පෙ.ව. 6.00 වන විට කොත්මලේ ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 700.16 ක් වූ අතර, එය සමස්ත ජල ධාරිතාවයෙන් 89.69% කි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දෙසැම්බර් 02 වන දින විශේෂ නිවේදනය අනුව ඉදිරියේදී වැසි තත්ත්වය වර්ධනය වුවහොත්, ජලාශය උපරිම මට්ටම කරා පැමිණෙන අතර, ජල සීඝ්‍රතාවය අනුව වාන් දොරටු ක්‍රියාත්මක කිරීමට සිදුවන බව දැනුම් දී ඇත.

ජලාශය වාන් දැමීමේදී කොත්මලා ඔයට වාන් ජලය මුදා හැරෙන අතර, එමගින් කොත්මලා ඔය සහ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමක් සිදුවිය හැකි බව සඳහන් වේ.

ආපදා තත්ත්වය අවම කර ගැනීම සඳහා  ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට සූදානමින් සිටින ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුම් දී ඇත.

මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමක් සිදු වුවහොත් ගඟ දෙපස ජනතාව දැනුවත් කිරීමට හා ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ගන්නා ලෙස කාරුණිකව දන්වා සිටී.

වාන් දොරටු විවෘත කිරීමට පෙර අවශ්‍ය දැනුවත් කිරීම සිදු කරන බව කාර්යභාර ඉංජිනේරු විසින් වැඩිදුරටත් දන්වා ඇත.




Previous Post Next Post

Contact Form