ශ‍්‍රී ලංකාව දෙසට ගැඹුරු පීඩන අවපාතයක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බැවින්, හෙට (08) දින සිට දිවයිනේ කාලගුණයේ වෙනසක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුළ තවදුරටත් "ගැඹුරු පීඩන අවපාතයක්" දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම කාලගුණ විපර්යාසය හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන අතර, එම ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. 

නැගෙනහිර සහ ඌව පළාත්වලටත්, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

උතුරු පළාතට සහ අනුරාධපුරය, මහනුවර දිස්ත්‍රික්කවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කෙරේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වලට මෙන්ම උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලට ද, කොළඹ, ගම්පහ, හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලට ද විටින් විට පැයට කිලෝමීටර් 50-60 ක පමණ තද සුළං ඇතිවිය හැක.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත ධීවර හා නාවික ප්‍රජාව සඳහා විශේෂ අවවාදයක් නිකුත් කර ඇත:

ජනවාරි 07 සිට කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල කටයුතු වලින් වැළකී සිටිය යුතුය.

ජනවාරි 08 සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන සියලුම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.

මුහුදු රළ උස මීටර් 2.5 - 3.0 ක් පමණ ඉහළ යා හැකි අතර මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැක.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු මඟින් සහ තද සුළඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. 

වැඩිදුර තොරතුරු සඳහා 117 ක්ෂණික ඇමතුම් අංකය ඇමතිය හැක

Post a Comment

Previous Post Next Post

Contact Form

×
RED ALERT Weather Update
Weather

නායයෑම් රතු නිවේදන! 🌧️

දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි අවදානම්...