ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ මැනාඩෝ නගරයේ පිහිටි වෙර්දා දමයි වැඩිහිටි නිවාසයේ ඇති වූ දරුණු ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්රියේ හටගත් මෙම ගින්නෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ගිනි නිවන අංශ සඳහන් කරන්නේ ගින්න හටගත් අවස්ථාවේ බොහෝ වැඩිහිටියන් තම කාමරවල විවේක ගනිමින් සිටි බැවින් ඔවුන් ගොඩනැගිල්ල තුළ සිරවී ඇති බවයි.
කෙසේ වෙතත්, කිසිදු තුවාලයක් සිදු නොවූ පුද්ගලයින් 12 දෙනෙකු ආරක්ෂිතව මුදාගෙන ප්රාදේශීය රෝහලක් වෙත ඇතුළත් කිරීමට බලධාරීන් සමත්ව තිබෙනවා.
මැනාඩෝ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ප්රධානී ජිමී රොටින්සුලු පවසා සිටියේ බොහෝ දෙනෙකුගේ මළ සිරුරු ඔවුන්ගේ කාමර තුළම තිබී හමු වූ බවයි.
පොලිස් නිලධාරී අලම්ස්යා පී. හසිබුවාන් සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ බවත්, එයට හේතුව පිළිබඳව මේ වන විට විමර්ශන පවත්වන බවයි.
මෑතකදී ඉන්දුනීසියාවේ මෙවැනි මාරක ගිනි අනතුරු කිහිපයක්ම වාර්තා වී තිබෙනවා.
මේ මස මුලදී ජකර්තා නුවර මහල් හතක කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් 22 දෙනෙකු මියගියා.

