ප්‍රේමය සුන්දර වුණත් ඒ තුළ ඇතිවන කලකිරීම් දරාගන්න බැරිව තරුණ ජීවිතයක් අකාලයේ අහිමි වීමේ ඉතාම කණගාටුදායක පුවතක් වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
ඊයේ (28) සවස 5.30ට පමණ ජාඇල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි උමයංගනා සත්සරණි නම් තරුණියක් මෙලෙස ගිංඔයට පැන අතුරුදහන් වී තිබෙනවා.
පොලිසිය පවසන පරිදි උමයංගනා සහ ඇයගේ 18 හැවිරිදි පෙම්වතා වන රුමේෂ් ලක්ෂාන්, හලාවත-කොළඹ ප්‍රධාන මාර්ගයේ නයිනමඩම පාලම අසල බස් නැවතුමේ කතා කරමින් සිට තිබෙනවා. එහිදී ඇතිවූ සුළු බහින්බස්වීමක් දුරදිග ගොස්, එකවරම කුපිත වූ තරුණිය පාලම මතින් ගිංඔයට පැන තිබෙනවා.
සිය පෙම්වතිය ගඟට පනිනවාත් සමඟම ඇය බේරාගැනීමේ අරමුණින් 18 හැවිරිදි පෙම්වතාද නොසිතාම ගඟට පැන තිබෙනවා. ඒ අවස්ථාවේ අසල හෝටලයක සිටි සේවකයින් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක වී කඹයක් ගඟට දමා ඇති අතර, පෙම්වතා එම කඹය අල්ලාගෙන දිවි බේරාගත්තත්, පෙම්වතිය දිය රළ අතරේ ගිලී අතුරුදහන් වී තිබෙනවා.
දිවි බේරාගත් තරුණයා 1990 ගිලන් රථයකින් මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, අතුරුදහන් වූ උමයංගනාගේ සිරුර සෙවීම සඳහා නාවික හමුදාව අද (29) උදෑසන සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.