ව්‍යාජ AI සිනමා පට ප්‍රචාරය කළ ප්‍රධාන YouTube නාලිකා දෙකක් තහනම් කෙරේ

කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිපදවන ලද ව්‍යාජ සිනමා ප්‍රචාරක පට (Fake Trailers) හේතුවෙන් ප්‍රේක්ෂකයින් නොමග යැවීමේ චෝදනාව මත ජනප්‍රිය YouTube නාලිකා දෙකක් ස්ථිරවම වසා දැමීමට YouTube බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඉන්දියාව පදනම් කරගත් නාලිකාවක් වන Screen Culture සහ ඇමෙරිකාව පදනම් කරගත් නාලිකාවක් වන KH Studio මෙසේ තහනම් කරන ලද නාලිකා වනවා.
මෙම නාලිකා දෙකෙහිම ග්‍රාහකයින් (Subscribers) මිලියන දෙකකට අධික සංඛ්‍යාවක් සිටි අතර, ඒවායේ වීඩියෝ බැලීම් වාර සංඛ්‍යාව (Views) බිලියනයකට වඩා අධිකයි. මෙම නාලිකා ඉදිරියේදී තිරගත වීමට නියමිත හෝ ප්‍රේක්ෂකයින් බලාපොරොත්තුවෙන් සිටින චිත්‍රපටවල ව්‍යාජ ප්‍රචාරක පට AI තාක්ෂණය මගින් නිපදවා තිබුණා. ඔවුන් දැනට පවතින සැබෑ චිත්‍රපටවල දර්ශන සහ AI මගින් නිපදවූ දර්ශන එකිනෙක මුසු කරමින් ඉතා තාත්වික ලෙස මෙම වීඩියෝ නිපදවා තිබූ අතර, බොහෝ ප්‍රේක්ෂකයින් ඒවා නිල ප්‍රචාරක පට (Official Trailers) ලෙස විශ්වාස කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. Disney වැනි ප්‍රධාන සිනමා නිෂ්පාදක සමාගම් කරන ලද පැමිණිලි සහ YouTube ආයතනයේ අයාචිත (Spam) සහ නොමග යවන සුළු අන්තර්ගතයන් පිළිබඳ ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම නිසා මෙම පියවර ගෙන තිබෙනවා. ප්‍රථමයෙන් මෙම නාලිකාවලින් මුදල් ඉපයීමේ හැකියාව (Demonetization) අත්හිටුවීමට YouTube කටයුතු කළ අතර, එහිදී "Fan-made" (ප්‍රේක්ෂක නිර්මාණයක්) ලෙස ලේබලයක් සඳහන් කරන ලෙස නියෝග කර තිබුණා. කෙසේ වෙතත්, පසුව එම නාලිකා හිමිකරුවන් අදාළ නිවේදනයන් ඉවත් කර නැවතත් ප්‍රේක්ෂකයින් නොමග යවන ආකාරයෙන් වීඩියෝ පළ කිරීම හේතුවෙන් එම නාලිකා සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කරන අන්තර්ගතයන්හි ප්‍රකාශන අයිතිය (Copyright) උල්ලංඝනය වීම සහ ව්‍යාජ තොරතුරු පැතිරීම වැළැක්වීම සඳහා YouTube ආයතනය ඉදිරියේදී මීට වඩා දැඩි නීති පද්ධතියක් හඳුන්වා දීමට සූදානම් වන බව ද වාර්තා වෙනවා.

Post a Comment

Previous Post Next Post

Contact Form