නත්තල් සීයා දැන් කොහේද ඉන්නේ?

උදාවූ නත්තලේ දී නත්තල් සීයා උත්තර ධ්‍රැවයේ සිට ලොව පුරා තෑගි බෙදාදීමට යන ගමන නිරීක්ෂණය කිරීමේ වසර 70ක් පැරණි සම්ප්‍රදායට මෙවරත් ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් එක් වී සිටිනවා. උතුරු ඇමරිකානු අභ්‍යවකාශ ආරක්ෂක අණසක (NORAD) මගින් මෙහෙයවන මෙම සේවාව හරහා නත්තල් සීයා සිටින ස්ථානය සජීවීව දැනගත හැකියි. මේ වනවිට ඔවුන් දෙදෙනා දුරකතන ඇමතුම්වලට පිළිතුරු දෙමින් ද සිටින සජීවී විකාශයක් ධවල මන්දිරය හරහා විකාශය කෙරෙනවා.
උතුරු ඇමරිකානු අභ්‍යවකාශ ආරක්ෂක අණසක හෙවත් NORAD මගින් මෙහෙයවනු ලබන මෙම වැඩසටහනේදී, දරුවන් කිහිප දෙනෙකුගේ දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීමට ජනාධිපතිවරයා සහ පළමු ආර්යාව කටයුතු කරනවා. නත්තල් සීයා කොහේදැයි විමසීමට දරුවන් ලබාගත් දුරකථන ඇමතුම් කිහිපයකට ජනාධිපතිවරයා සහ මෙලනියා පිළිතුරු දුන්නා. මෙම විශේෂ සම්ප්‍රදාය 1955 වසරේදී ආරම්භ වූවක්. එහි ආරම්භය සිදුවූයේ වෙළඳසැළක දැන්වීමක දුරකථන අංකයක් වැරදි ලෙස මුද්‍රණය වීම නිසා කුඩා දරුවෙකු නත්තල් සීයා සිටින තැන විමසීමට කොලරාඩෝ හමුදා මධ්‍යස්ථානයකට ඇමතුමක් ලබා ගැනීමත් සමඟයි. එතැන් පටන් සෑම වසරකම නත්තල් සීයා ලොව පුරා සැරිසරන ආකාරය නිරීක්ෂණය කරමින්, දරුවන්ට ඒ පිළිබඳ තොරතුරු ලබා දීමට ස්වේච්ඡා සේවකයන් රැසකගේ සහාය ඇතිව NORAD ආයතනය මෙම කටයුත්ත සිදු කරනවා. පසුගිය වසරේදී මෙම මධ්‍යස්ථානයට නත්තල් සීයා සිටින තැන විමසා ඇමතුම් 380,000ක් ලැබී තිබුණා. ස්වේච්ඡා සේවකයන් සහ ආයතනික අනුග්‍රහය මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා 1-877-HI-NORAD (1-877 446-6723) අංකය අමතා නත්තල් සීයා සිටින තැන විමසිය හැකි බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

Post a Comment

Previous Post Next Post

Contact Form