මහනුවර දක්වා පවතින දුම්රිය මාර්ගය වෙනුවට ආපදාවලට ඔරොත්තු දෙන, නවීන තාක්ෂණයෙන් යුත් නව දුම්රිය මංතීරුවක් (Rail Corridor) ඉදිකිරීම කෙරෙහි රජයේ ප්‍රමුඛතාවය යොමු විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රවාහන හා මූල්‍ය සැපයුම් ආයතනය (SLSTL) අවධාරණය කරයි. මේ සඳහා වන ශක්‍යතා අධ්‍යයනයන් 2026 වසරේදී ආරම්භ කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.
ඉංජිනේරු ආයතනය (IESL) සමඟ එක්ව 2017 වසරේදී සකස් කරන ලද මෙම යෝජනාව මගින් ප්‍රධාන විකල්ප මාර්ග දෙකක් ඉදිරිපත් කර ඇත.
යෝජිත නව දුම්රිය මාර්ග:
රඹුක්කන සිට මහනුවර දක්වා දැනට පවතින මාර්ගයට විකල්ප ලෙස මෙම මාර්ග දෙක යෝජනා වී ඇත:
- ගලගෙදර මාර්ගය (Galagedera Trace): රඹුක්කන සිට ගලගෙදර හරහා කටුගස්තොට සහ මහනුවර සම්බන්ධ කිරීම.
- පට්ටියගෙදර මාර්ගය (Pattiagedera Trace): රඹුක්කන සිට යට්ටේවෙර ඔය නිම්නය හරහා මහනුවරට සම්බන්ධ කිරීම.
නව ව්‍යාපෘතියේ වාසි කිහිපයක්:
- කාලය ඉතිරි වීම: කොළඹ සිට මහනුවර දක්වා ගමන් කාලය විනාඩි 90කට (පැය 1 1/2) වඩා අඩු කර ගැනීමට හැකි වීම.
- ආපදා ඔරොත්තු දීමේ හැකියාව: නායයෑම් අවදානම අවම මට්ටමක පවතින ආරක්ෂිත මාර්ගයක් වීම.
- ධාරිතාව ඉහළ යාම: දැනට දිනකට ධාවනය කළ හැකි දුම්රිය 20 ක ප්‍රමාණය, මෙම නව ද්විත්ව මාර්ගය හරහා 50 දක්වා ඉහළ නැංවිය හැකි වීම.
- විදුලි දුම්රිය සේවාව: පොල්ගහවෙල සිට මහනුවර දක්වා විදුලි දුම්රිය සේවාව දීර්ඝ කිරීමේ හැකියාව.
පැරණි ක්‍රමය වෙනුවට නව දැක්මක්
පසුගියදා බලපෑ ‘ඩිඩ්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් දුම්රිය මාර්ගයට සිදු වූ දැවැන්ත හානිය සහ පේරාදෙණිය පාලමේ පැවැත්ම පිළිබඳ ඇති වී තිබෙන සැකය මත, වසර 150ක් පැරණි පද්ධතිය තවදුරටත් නඩත්තු කරනවාට වඩා නවීන පද්ධතියකට යොමු වීම අත්‍යවශ්‍ය බව SLSTL පෙන්වා දෙයි.
ලෝකයේ බොහෝ රටවල් අධිවේගී අන්තර් නගර දුම්රිය සේවා වෙත යොමු වී ඇති බැවින්, ශ්‍රී ලංකාව ද හුදෙක් හානි වූ දේ අලුත්වැඩියා කරනවා වෙනුවට තිරසාර සහ නවීන යටිතල පහසුකම් ගොඩනැගීමේ ප්‍රතිපත්තියකට මාරු විය යුතු බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.