ධ්‍යාපන අමාත්‍යාංශය මගින් හඳුන්වා දීමට නියමිත නව ලිංගික අධ්‍යාපන විෂය මාලාව හරහා මෙරට සංස්කෘතික හා ආගමික වටිනාකම් විනාශ වීමේ අවදානමක් පවතින බව මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන් පවසති.
විවාහ ජීවිතය කඩාකප්පල් කරන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන යුගයක, රජය විසින් ඉදිරිපත් කර ඇති මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දෙමව්පියන් සතු අයිතිවාසිකම් උදුරා ගැනීමක් බව උන්වහන්සේ අවධාරණය කරති.
වයස අවුරුදු හයේ දරුවන්ගේ සිට වැඩිමල් විය දක්වා වන දරුවන්ට මෙම ලිංගික අධ්‍යාපනය හරහා විවිධ විෂමතා ඉගැන්වීමට උත්සාහ කරන බවට කාදිනල්තුමා චෝදනා කරයි.
"ශ්‍රී ලංකාව තුළ බුද්ධාගම, හින්දු ආගම, මුස්ලිම් ආගම සහ ක්‍රිස්තියානි ආගමික ප්‍රතිපත්ති මත ගොඩනැඟුණු මානුෂීය සංස්කෘතියක් පවතිනවා. විවාහය සහ දරුවන් හදා වඩා ගැනීම පිළිබඳ අපට උරුම වූ සභ්‍යත්වයක් තිබෙනවා," යනුවෙන් පවසන උන්වහන්සේ, මෙම නව වැඩපිළිවෙළ එම වටිනාකම්වලට පටහැනි බව පෙන්වා දෙති.
බටහිර ලෝකයේ පවතින විෂමතාවන් මෙරටට ආදේශ කිරීමට රජය උත්සාහ කරන්නේ විදේශීය මුදල් මත පදනම්ව බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
"එක්සත් ජාතීන්ගේ සංවිධාන මගින් ලබාදෙන මුදල්වලට වැඳලා අපේ ප්‍රතිපත්ති පාවා දෙනවා නම්, කිසිදු රජයකට මේ රට පාලනය කරන්න අයිතියක් නැහැ," යැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.
දේශපාලන නායකයන් තමන්ට අයිති කාර්යයන් පමණක් කළ යුතු බවත්, රටේ සංස්කෘතික උරුමයන් විනාශ කිරීමට ඉඩ නොතබන ලෙසත් උන්වහන්සේ මෙහිදී අවවාද කළහ.
දෙමව්පියන්ගේ වගකීම ලිංගික අධ්‍යාපනය යනු රජයකට පවරනු වෙනුවට දෙමව්පියන් විසින්ම ඉටුකළ යුතු වගකීමක් බව කාදිනල්තුමා පවසයි.
දරුවන් වැඩිමල් වියට පත්වීමේදී සිදුවන වෙනස්කම් පිළිබඳව ආදරයෙන් කියා දීම දෙමව්පියන්ගේ කාර්යයක් බව උන්වහන්සේ පෙන්වා දෙති.
දරුවන් දෙමව්පියන්ට විරුද්ධ කරන ක්‍රමවේද වෙනුවට, ශුද්ධ වූ පවුල ආදර්ශයට ගනිමින් ආදරය සහ කීකරුකම මත පදනම් වූ පවුල් පරිසරයක් ගොඩනැගිය යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ,.
රටේ උරුම වූ සංස්කෘතියට සහ ගතිපැවතුම්වලට අත නොතබන ලෙසත්, විවාහ ජීවිතයේ ඒකාග්‍රතාවය ආරක්ෂා කරගැනීමට සියලු දෙනා කැපවිය යුතු බවත් කාදිනල් අගරදගුරු තුමන් අවසාන වශයෙන් පවසා සිටියහ.
