ආපදාවෙන් මව – පියා අහිමි වූ දරුවන්ගේ දත්ත සොරාගෙන ජාවාරම්වලට මාන බැලීමක්

ෆේස්බුක්වලින්වත් තොරතුරු දෙන්න එපා!

ආධාර දෙන මුවාවෙන් එන කපටින්ට රැවටෙන්නට එපා!

සැකකටයුතු අය ගැන 1929ට කියන්න! 





සිදුවූ ගංවතුර, නායයෑම් ආපදා තත්ත්වයෙන් මව – පියා අහිමි වූ දරුවන්ගේ තොරතුරු රැස්කිරීමේ කූට ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය වී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂිකා (සැලසුම්/තොරතුරු) ශානිකා මලල්ගොඩ මහත්මිය ඊයේ (10දා) පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළාය.

දරුවන් ගැන තොරතුරු ඉල්ලා සැකකටයුතු අය ගැන 1929 අංකයට දැනුම් දෙන ලෙස ද ඇය ඉල්ලා සිටියාය.

මෙම තොරතුරු කිසිම අවස්ථාවක පිටස්තර පුද්ගලයන්ට ලබාදීමෙන් වළකින ලෙසද ඇය වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටියාය.

මෙහිදී තවදුරටත් කතා කළ ඇය මෙසේ ද කියා සිටියාය.

“ළමයින් පිළිබඳව තොරතුරු ඉල්ලීම මේ අවස්ථාවේ සිදුවෙනවා. සැකකටයුතු පුද්ගලයන් මේ දරුවන් ගැන තොරතුරු ඉල්ලනවා. මව – පියා අහිමි වූ දරුවන්ගේ තොරතුරු ඉල්ලනවා ආධාර ලබාදීමේ හැකියාව තිබෙන බව කියමින්. මේ නිසා ජාතික ළමාරක්ෂක අධිකාරිය හැටියට ඔබගෙන් ඉල්ලා සිටින්න කැමැතියි, මේ තොරතුරු කිසිම අවස්ථාවකදී පිටස්තර පුද්ගලයන්ට ලබාදෙන්න එපා කියා. ඔබේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා, ජාතික ළමාරක්ෂක අධිකාරියෙන්, පරිවාස ළමාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඔබගෙන් ඉල්ලුවොත් පමණක් ලබාදෙන්න.



“සැකකටයුතු ආකාරයට පිටස්තර පුද්ගලයන්ට, ආයතනවලට ඔබේ දරුවාගේ තොරතුරු ලබාදුන්නොත් ඔබේ දරුවා අනාරක්ෂිත වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ දරුවාගේ ඡායාරූප ඉල්ලන්න පුළුවන්. ළමයාගේ ආත්මගෞරවය, ළමයාට තියෙන සුන්දර ළමා ලෝකය විනාශ කිරීමට අවශ්‍ය කිසිදු ඉඩකඩක් ලබාදෙන්න එපා.

“මේ දවස්වල වට්ස්ඇප්, මැසෙන්ජර්, වෙනත් සමාජ මාධ්‍ය මාර්ගයෙන් දරුවන්ගේ තොරතුරු ඉල්ලන පුද්ගලයන්, පිරිස්, කණ්ඩායම් ඉන්නවා. මේ මාර්ගයෙන් දරුවන්ගේ තොරතුරු ඉල්ලන කිසිදු කෙනකුට තොරතුරු ලබාදෙන්න එපා කියලා ඉල්ලා සිටිනවා. මේ තොරතුරු වැරදි පුද්ගලයන්ට, වැරදි ආයතනවලට ගිහිල්ලා දරුවන්ට අනාරක්ෂිත භාවයක් ඇතිවෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි.

“සමහර අවස්ථාවල දරුවන්ගේ භාරකාරත්වය ගැන ගැටලු ඇතිවෙනවා. සමහර පුද්ගලයන්, ආයතන, සංවිධාන භාරකාරත්වය සපයන්න කැමැතියි කියලා. ළමයින්ගේ භාරකාරත්වය තියෙන්නේ දෙමාපියන්ට එහෙම නැත්නම් සුදුසු පුද්ගල භාරකාරත්වය පරිවාස දෙපාර්තමේන්තුවට එහෙම නැතුව කිසිම පුද්ගලයකුට ළමයින්ගේ භාරකාරත්වය අධිකරණ ක්‍රියාමාර්ගයකින් හැර වෙනත් පිටස්තර පුද්ගලයකුට පැවරිය නොහැකියි.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

Previous Post Next Post

Contact Form