බුලත් විටක් රැගෙන එන්න ගොසින් අවසන් ගමන් ගිය තරුණයා

 “තාත්තෙ මම හෙට ගෙයක් බලන්න යනවා. ජනවාරි මාසේ මම තාත්තලවත් මෙහාට ගෙන්න ගන්නවා. ඕගොල්ලෝ ඔහෙට වෙලා දුක් විදිනවා බලා ඉන්න මට බෑ තාත්තේ කියලා කියපු පුතා පහුවදා අපිව දාලා යන්නම යන්න ගිහිල්ලා. මේ දුක අපිට දෙන්නද පුතේ ඒ විදිහට මගේ හිත හැදුවේ ඔයා” යැයි ප්‍රදීප් කුමාර මදනායක (46) එසේ පැවසුවේ තම වැඩිමහල් පුතුට සිදුවූ අවාසනාවන්ත ඉරණම පිළිබඳ ඇති වූ දරාගත නොහැකි වේදනාවෙන්.


ඔහු නමින් පසිඳු ඩිලාන් පූර්ණ මදනායක. තවමත් 23 හැවිරිදි වියේ පසුවෙන අවිවාහක තරුණයෙකු වන ඔහු පදිංචිව සිටියේ පැලවත්ත ප්‍රදේශයේය. බාල සහෝදරයින් තිදෙනෙකුට අයියා වූ ඔහු නිතරම කටයුතු කළේ මව, පියා හා සහෝදරයින්ගේ යහපත වෙනුවෙන්.

කුලී රැකියාවල නියුතු වූ පියා උපයන සුළු මුදලින් කෙසේ හෝ ඔවුන්ගේ වැඩ කටයුතු සිදු කළත් දරුවන් සිව් දෙනෙකුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වියදම් කිරීමට ප්‍රමාණවත් මුදලක් උපයා ගැනීමට ඔහු අපොහොසත් වුණා.

ගමේ විහාරස්ථානය ආශ්‍රිතව හැදී වැඩුණු ඩිලාන් 09 හැවිරිදි වියේ දී පැවිදි දිවියට ඇතුළත් වූයේ කසාවතට තිබූ අසීමිත ආසාවෙන්. පැලවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ වැඩිමහල් සහෝදරයා අනුකරණය කළ දෙවන සහෝදරයාද පැවිදිව වැඩ වාසය කළේ බණ්ඩාරගම, රයිගම ප්‍රදේශයේ විහාරස්ථානයකයි.

වසර හතක පමණ කාලයකට පසු උපැවිදි වූ ඔහු බාල සහෝදරයා සිටි රයිගම ප්‍රදේශයේ විහාරස්ථානයට පැමිණි අතර එහිදී දැන හඳුනාගත් රයිගම ප්‍රදේශයේ මිතුරෙකු වූ නදුන් මාර්ගයෙන් රැකියාවක් සොයා ගැනීමට කටයුතු කර තිබුණා.

නිවෙස්වල වහල සෑදීම වැනි කටයුතුවල නිරත වූ ඩිලාන් පසුව බණ්ඩාරගම ප්‍රදේශයේ රෙදි ව්‍යාපාරිකයකු යටතේ රැකියාව කිරීමට කටයුතු කළේ මිතුරාගේ මග පෙන්වීම අනුවයි.

දුක් මහන්සි වී ඔහු උපයා ගන්නා මුදල් සියල්ලම ඔහු වියදම් කළේ ඔහු වෙනුවෙන් නොවේ. මල්ලිලාගේ අධ්‍යාපන කටයුතු මෙන්ම දෙමාපියන්ගේ අනෙකුත් වුවමනාවන් සඳහායි. රයිගම ප්‍රදේශයට පැමිණ ගත කළ වසර හතරක පමණ කාලය තුළ ඔහු උපයාගත් මිතුරන් පිරිස අති විශාලයි.

මේ නිසා මිතුරන් පමණක් නොව ඔවුන්ගේ පවුල්වල උදවිය පවා ඩිලාන් වෙත දැක්වූයේ විශාල බැඳීමක් හා සෙනෙහසක්. ඒ, ඔහු කා සමගත් සුහදව කටයුතු කර හිත දිනා ගැනීමට සමත් වූ තරුණයෙකු වූ බැවින්.

නත්තල් දිනය උදාවූයේ ලොකු කුඩා කාටත් සාමය මෙන්ම සතුටද කැන්දා ගෙන. හොරණ මිවනපලාන ප්‍රදේශයේ මිතුරෙකුගෙන් ඔහු ඇතුළු මිතුරු පිරිසට ආරාධනාවක් ලැබුණේ දිවා ආහාරය සඳහා පැමිණෙන ලෙසටයි.

ඩිලාන් සමග මිතුරන් පස් දෙනෙකු යතුරුපැදි තුනකින් බණ්ඩාරගම, රයිගම සිට හොරණ මිවනපලාන, කුඩුමිරිස්සහේන ප්‍රදේශයේ මිතුරු නිවෙසට පිටත් වූයේ උදෑසන 9.30 ට පමණයි. මේ සඳහා මිතුරාගේ පවුලේ අයද සහභාගි වීමට කටයුතු කළේ ඔවුන් අතර තිබූ බැඳීම හේතුවෙන්.

එහිදී ඔවුන් මාවක් ඔයෙන් දිය නෑමට ද කටයුතු කළේ හිතේ හැටියට විනෝද වීම සඳහායි. මිතුරාගේ නිවෙසේදී දිවා ආහාරය ගැනීමෙන් පසුව ඩිලාන් යතුරුපැදියට ගොඩ වූයේ බුලත් විටක් රැගෙන ඒම සඳහායි.




ඒ ඔහු මිතුරන් සමග ගත කරන අවසන් මොහොත බව කිසිවකුත් දැන සිටියේ නැත. වෙළඳසැලට යන අතරමග රැඳී සිටි මරුවා ඩිලාන්ගේ ජීවිතය උදුරා ගත්තේ කිසිවෙකුටත් එය වළක්වා ගත නොහැකි අයුරින්.

ඩිලාන්ගේ මිතුරා වන නඳුන් පැවසුවේ මෙවැන්නක්.

“මගේ ගම රයිගම, බැල්ලන්තුඩාව. මගේ හොඳම යාළුවා තමයි නැති වෙලා ඉන්න ඩිලාන් කියන්නෙ. මං එයාව අඳුරගෙන අවුරුදු තුනක් විතර වෙනවා. එයාගේ මල්ලි මහන වෙලා හිටියා අපේ පන්සලේ. පොඩි හාමුදුරුවන් හම්බවෙන්න එයා නිතරම පන්සලට ආවා. එතකොට තමයි මට අඳුරගන්න ලැබිලා යාළුකම ඇති වුණේ. එදා ඉදලා අපි දෙන්න හොඳ යාළුවො. ඩිලාන් මුලින් ගැලණිගම පැත්තේ ටයිල් වැඩ කළා. පස්සේ රෙදි බිස්නස් කරන කෙනෙක් ළඟත් වැඩ කළා. මං අඳුරන බාසුන්නැහේ කෙනෙක් හඳුන්වලා දීලා එයා ළග වැඩ කරනවා. ඩිලාන් හරි අහිංසකයි. එයා හැමතිස්සෙම හිතුවේ එයාගේ ගෙදර අය ගැනයි. හම්බ කරන හැම සතයක්ම වියදම් කළේ ගෙදර අයගේ උවමනාවල්වලටයි.

එදා අපි හය දෙනෙක් යාළුවෙකුගේ ආරාධනාවට මීවනපලානේ කුඩුමිරිස්සහේන ගෙදරට ගියා උදේ. ඊට පස්සේ මිවනපලානෙ ඉස්කෝලේ පැත්තෙන් මාවක් ඔයේ නාන්න ගියා. පස්සේ ගෙදර ඇවිත් දවල්ට කාලා ඩිලාන් ගියා බුලත් විටක් ගේන්න කඩේට.

එයා හෙල්මට් එක දාගෙන නෙමෙයි ගියේ. එයා කඩේ දන්නෙත් නැති හින්ද පාරත් හුරු නැති හින්ද මම යන්න එපා කිව්වා. ඒත් එයා අහන්නේ නැතුව ගියා. ඒ හින්ද මමත් බයිසිකලෙන් එයා පස්සෙන් ගියා. හොරණ, පාදුක්ක පාරත් හොරණ, තල්ගහවිල පාරත් සම්බන්ධ කරන අතුරු පාරේ තමයි කඩේ තිබුණේ. අපි ආව ගෙදර ඉඳලා වැඩි දුරක් නෑ එතැනට. කඩේ කිට්ටුව ට්‍රාන්ස්ෆොමරය ළඟින් වංගුව ගනිද්දි බයිසිකලේ තිරිංග හිරවෙලා නවත්ත ගන්න බැරුව ලිස්සල ගිහින් ඉස්සරහ තිබුණ කාණුව දිගේ ගිහින් බැම්මෙ වැදිලා. මං ඉක්මනට ගිහිල්ල බලන කොට ඩිලාන්ගේ ඔළුව ගලක වැදිලා බිම වැටිල හිටියා. 

අනිත් අයටත් කතා කරලා ත්‍රිවිල් එකකින් එයාව හොරණ ඉස්පිරිතාලෙට අරන් ගියා. 
හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් කරලා පැය දෙකක් විතර ප්‍රතිකාර ලබා දුන්නා. ඒත් ඩිලාන්ව බේරගන්න කාටවත් බැරි උනා. එයා හරි හොඳ කෙනෙක්. රස්සාවක් හොයා ගත්තෙත් ගෙදරට උදව් කරන්න ඕන නිසා. ගෙදර ආර්ථික ප්‍රශ්න විසඳන්නෙ කොහොමද කියලා තමයි එයා නිතරම කතා කළේ.
 
අපි යාළුවෝ කට්ටිය එකතු වෙලා බැල්ලන්තුඩාවේ මල් ශාලාවක තමයි ඒ වැඩ ටික කරල පැලවත්තෙ එයාගෙ ගෙදරට දේහය අරන් ගියෙ. අනේ අපි කවුරුවත් හිතුවේ නෑ මේ වගෙ දෙයක් ඩිලාන්ට සිද්ධ වෙයි කියලා. යාළුවන්ගේ ගෙවල්වල හැමෝමත් පැලවත්තට ගියා එයාගෙ අවසන් කටයුතු වලට සහභාගි වෙන්න. එයා කොච්චර යාළුවන්ට හිතවත් කෙනෙක්ද කියලා ඒකෙන්ම තේරෙනවා.”

මිතුරු ඇසුරේම කාලය ගත කළ ඩිලාන් අවසානයේ මිතුරන්ගේ කරපිටින්ම ගොස් පැලවත්ත, මිරිස්වත්ත පොදු සුසාන භූමියේදී ඊයේ (28) මළ හිරු බැස යන හැන්දෑවේ සුදු වැලි කැට යට මිහිදන් වූයේ සියල්ලන්ගේම දෙනෙත් කඳුළින් පොඟවා දමමින්.

මියගිය තරුණයාගේ හදිසි මරණ පරීක්ෂණය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිණී කේ. ආර්. එච්. ලියනගේ විසින් සිදු කළ අතර සාක්ෂි විමසීම පොලිස් කොස්තාපල් (90210) සාලිය නිලධාරියා විසින් සිදු කළා.

යතුරුපැදී අනතුරක් හා සැස‍‍දෙන මොට බලයකින් සිදු වූ බහු විධ තුවාල මත මෙම මරණය සිදුවී ඇති බව හොරණ වැඩ බලන හදිසි මරණ පරීක්ෂක දීපල් ඖෂධ රත්න විසින් නිගමනය කළා.

Post a Comment

Previous Post Next Post

Contact Form