මාතලේ, පල්ලේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්බොක්ක ගම්මානයේ කඳුපන්තිය මේ වනවිට අවදානම් තත්ත්වයක පවතී.
පැවති වර්ෂාව සමඟ මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අවදානය ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් යොමුකර ජනතාව දැනුවත් කරන මෙන් ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වය සමඟ කන්දක් නායයෑමෙන් ගම්මානයේ නිවසක සිටි එකම පවුලේ හත්දෙනෙකුට දිවි අහිමි වුණි.
මියගිය අයගේ දේහයන් මිහිදන් කළ ද මේ වනවිටත් එම ප්‍රදේශය පස්වලින් සම්පූර්ණයෙන්ම යට වී තිබේ.
පස්වලට යටවූ නිවසේ සුන්බුන් පවා සොයාගැනීමට නොහැකි බව ගම්මුන් පවසති.
මේ සියල්ල මැද එම ස්ථානයට ගිය අපට අසන්නට සිදුවුයේ ඉතා සංවේදී පුවතකි.
එනම් එකම පවුලේ හත්දෙනෙකු පස් අතර සැඟව ගොස් ඇති බව ආරංචි වුවත් ඔවුන්ගේ සිරුරු සෙවීම ඉතා අසිරු වූ මොහොතක නිවසේ සිටි සුනඛයා පස් අතර සැඟවුණු නිවැසියන්ව සියලුදෙනාගේම හදවත් කම්පා කරමින් සොයා ගැනීමට සමත්විමයි.
අම්බොක්ක ගම්මානයේ පවුල් අසූවක් පමණ මේ වන විට ඉවත් කොට විහාරස්ථානයක සහ ඔවුන්ගේ පෞද්ගලික හිතවත් නිවෙස්වල ජීවත් වන බව ගම්මුන් පවසති.
නායයෑම් සිදුවීම හේතුවෙන් නිරන්තරයෙන් නිලධාරීන් පැමිණ ඉවත් වෙන ලෙසට දැනුම්දී ඇති බව ද ඔවුන් සඳහන් කළේය.
එහෙත් නිසි වාර්තාවක් හෝ අධ්‍යයනයක් නොමැතිව මෙලෙස නිවෙස්වලින් ඉවත්වෙන ලෙස දැනුම්දීම හේතුවෙන් තමන්ට ස්ථාවරත්වයක් සකසා ගැනීම අසීරු වී ඇතැයි ද ප්‍රදේශවාසීන් පවසයි.
එම නිසාවෙන් පාසල් ආරම්භයට පෙර කඩිනමින් ගම්මානයේ ආපදා තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබාදෙන මෙන්ද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
