කොත්මලේ ඓතිහාසික නියංගන්දර රජමහා විහාරස්ථානය හා අවට ගම්මාන රැසක් නායයෑමේ හා ගිලාබැසීමේ දැඩි අවදානමක්

 කොත්මලේ ඓතිහාසික නියංගන්දර රජමහා විහාරස්ථානය සහ ඒ අවට ගම්මාන රැසක් නායයෑමේ හා ගිලාබැසීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බවත්, මීට කඩිනම් විසඳුම් ලබාදීමට රජය මැදිහත් විය යුතු බවත් ප්‍රදේශවාසීන් සහ මහා සංඝරත්නය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

සුගියදා ඇති වූ දිට්වා  සුළි කුණාටු තත්ත්වයත් සමඟ සක්‍රීය වූ නායයෑම් හේතුවෙන්, නියංගන්දර රජමහා විහාරයේ පිහිටි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පත්තිනි දේවාලය සම්පූර්ණයෙන්ම පස්වලට යටවී විනාශ වී ඇත.

කොත්මලේ ගම්මානයේ අභිමානය බඳු වූ මෙම පෞරාණික ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට මෙතෙක් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ප්‍රදේශවාසීහු කණගාටුව පළ කරති.

​ප්‍රදේශයේ නිවාස ගණනාවක් ගිලාබැසීමට ලක්ව ඇති අතර, තවදුරටත් එහි පදිංචිව සිටීම ජීවිත අවදානමක් බව ජනතාව පවසති. තමන්ට ස්ථිරව ජීවත්වීමට හැකි ආරක්ෂිත ස්ථානයක් හෝ පවතින ගැටලුවට ස්ථීර විසඳුමක් ලබාදෙන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

​මේ පිළිබඳව අදහස් දැක්වූ කොත්මලේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක, නියංගන්දර රජමහා විහාරාධිපති ලංකානන්ද ස්වාමීන් වහන්සේ අවධාරණය කළේ මෙම තත්ත්වය හුදෙක් ගම්මානයට පමණක් සීමා වූවක් නොවන බවයි ,

වැඩිදුර අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීය ,

​"නියංගන්දර විහාරය කියන්නේ කොත්මලේ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක්. අද මේ ප්‍රදේශය විශාල වශයෙන් ගිලාබැසීමේ තර්ජනයකට ලක්වෙලා.

මෙම ප්‍රදේශය තවදුරටත් නාය ගියහොත් එය පහළින් පිහිටි ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයටත්, පහළ කොත්මලේ ජලාශයටත් දැඩි තර්ජනයක් එල්ල කරනවා.

මෙය ජාතික මට්ටමේ විනාශයක පෙරනිමිත්තක්."

​අදාළ අංශ වහාම මැදිහත් වී නායයෑමේ අවදානම පාලනය කිරීමටත්, අවතැන් වූ ජනතාවට සහන සැලසීමටත්, විනාශ වූ පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමටත් පියවර ගත යුතු බව විහාරාධිපති හිමියන් සහ ප්‍රදේශවාසීන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

ආර්.එෆ්.එම්.සුහෙල් 



Post a Comment

Previous Post Next Post

Contact Form

×
BREAKING Live Updates
News

කොත්මලේ ගම්මාන ගිලාබහී... ⚠️

සම්පූර්ණ විස්තරය බලන්න...