කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ ඉකුත් 19 වන දා පැවති වර්ණ ප්‍රදානෝත්සවයේදී ශිෂ්‍යාවකට සම්මානයක් ලබා නොදීම හේතුවෙන් නිර්මාණය වූ ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පාසලේ විදුහල්පතිනියගෙන් ඊයේ (දෙසැ. 22) කරුණු විමසා තිබේ.
අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැවගේ කැඳවීමකට අනුව, ඉසුරුපායට පැමිණි විදුහල්පතිනි සුමේධා ජයවීර වර්ණ ප්‍රදාන උත්සවයේදී 2023 සහ 2024 වර්ෂයන්ට අදාළව සම්මාන පිරිනැමූ ආකාරය පැහැදිලි කර ඇත.
වසර 07කට පසුව මෙම වර්ණ ප්‍රදාන උත්සවය සංවිධානය කළ බව ත් ක්‍රීඩිකාවකට එක් වරක් පමණක් හිමි වන විශිෂ්ටතම ක්‍රීඩිකාව යන ශීර්ෂය යටතේ සම්මාන ප්‍රදානය කිරීමේදී නිර්ණායක කිහිපයක් සලකා බැලූ බව ත් විදුහල්පතිනිය සඳහන් කර තිබේ.
ඒ අනුව, සමස්ත ලංකා ප්‍රථම ස්ථානයක් තනි ඉසව්වකින් ලබා තිබීම, සමස්ත ලංකා වාර්තාවක් තබා තිබීම, ලංකාවේ පාසල් ගණනාවක ක්‍රීඩා තරගවලට සහභාගී වීම, සමස්ත ලංකා වාර්තාවක් සමග ප්‍රථම හෝ දෙවන ස්ථාන ලබා තිබීම සහ ජාත්‍යන්තර තරගයකින් පිළිගත හැකි ස්ථානයක් ලබා තිබීම යන නිර්ණායක සම්මානයට නිර්දේශ වූ ක්‍රීඩිකාවන්ට කල්වේලා ඇතිව දැනුම් දුන් බව ද සුමේධා ජයවීර එහිදී පවසා ඇත.
ගැටලුව ඉදිරිපත් කළ ස්කොෂ් ක්‍රීඩිකාව (චනිත්මා සිනලි) මේ වන විට ආදි ශිෂ්‍යාවක් බව ත් ඇය එම උත්සවයේදී සජිවීව ගැටලුකාරි පරිසරයක් නිර්මාණය කිරීම අනුමත කළ නොහැකි බව ත් විදුහල්පතිනිය කියා තිබේ.
මෙම ශිෂ්‍යාවගේ හැසිරීම හේතුවෙන් පාසලේ කීර්ති නාමයට හානියක් සිදු වූ බව ත් මෙමගින් ඉදිරි පරම්පරාවට වැරදි ආදර්ශයක් ලබා දී තිබෙන බව ත් විදුහල්පතිවරිය පෙන්වා දී ඇත.
ස්කොෂ් ක්‍රීඩිකාවට සම්මානය නොලැබුණේ, එම සම්මානයට සුදුසුකම් නොලැබුණු නිසා මිස පෙරහුරුවට නොපැමිණි නිසා නොවන බව ත් ඇය පෙරහුරුවට නොපැමිණිය ද වර්ණ සහ විශේෂ සම්මානයක් පිරිනැමූ බව ත් විදුහල්පතිනිය පවසා තිබේ.
විශිෂ්ටතම ක්‍රීඩිකාව සම්මානය ජයග්‍රහණය කළ නභාෂි පෙරේරා අති දක්ෂ පිහිනුම් ශූරියක් බව ත් ඇය දෙස්විදෙස් තරග රැසක් ජයග්‍රහණය කර තිබෙන බව ත් විදුහල්පතිවරිය එහිදී සඳහන් කර ඇත.
මෙම සම්මාන උත්සවයට පෙර සියලු ම වර්ණ හා සම්මානලාභීන්ගේ මව්පියන් වෙනුවෙන් උත්සවය පැවත්වෙන ආකාරය පිළිබඳව හා වර්ණ ප්‍රදානය කරන ආකාරය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළ බව ත් එම අවස්ථාවේදී ශිෂ්‍යාවන් හෝ මව්පියන් ගැටලුවක් ඉදිරිපත් නොකළ බව ත් විදුහල්පතිනිය පවසා තිබේ.
මේ අතර, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිනියගෙන් මූලික අදියරේ කරුණු විමසීමක් ඊයේ සිදු කළ බව ය.
වර්ණ ප්‍රදාන උත්සවයේදී සම්මාන ලබා දුන් ආකාරය ඇතුළත් වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙසට ඇයට දැනුම් දුන් බව ද නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.
මූලාශ්‍රය – මව්බිම පුවත්පත