කොළඹ කෝට්ටේ ප්‍රදේශයේදී බස් රථයකදී, ක්ලාන්ත වී ඇති බව අඟවමින්, මාස හතරක පමණ කුඩා දරුවකු පෙරටු කරගෙන සංවිධානාත්මක කාන්තා කල්ලියක් විසින් ළමා සුරැකුම් සේවිකාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකා ත්‍රිරෝද රථයකින් පලා ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය පවසයි. කොල්ලකනු ලැබූ මෙම රන් මාලයේ බර පවුම් එකක් වන අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ තුනකට ආසන්න බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සිද්ධියට මුහුණදුන් ළමා සුරැකුම් සේවිකාව කෝට්ටේ, බංගලා හන්දියේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක සේවය කරන්නියකි. ඇය එම මධ්‍යස්ථානයේ දරුවකුගේ අවශ්‍යතාවක් සඳහා පිටතට ගොස්, නැවත මධ්‍යස්ථානය වෙත පැමිණෙමින් සිටියදී පිටකෝට්ටේදී බස් රථයකට ගොඩවී ඇත. පොලිසිය සඳහන් කරන අන්දමට, ඇය බස් රථයේ පිටුපස ආසනයක වාඩි වී සිටින අවස්ථාවේදී, එකම පවුලට අයත් කාන්තාවන් තිදෙනෙකු මාස හතරක පමණ කුඩා දරුවකුද සමඟ බස් රථයට නැඟී ඇත. ඉන් දෙදෙනෙකු ඇය දෙපසින් අසුන් ගෙන තිබේ.
බස් රථය බංගලා හන්දිය ආසන්නයේ බස් නැවතුමට ළඟා වී ඇය බැසීමට සූදානම් වන විට, ඇය දෙපසින් අසුන්ගෙන සිටි කාන්තාවන් දෙදෙනාද ආසනවලින් නැඟී සිට ඇත. ඉන් එක් කාන්තාවක් ඇය ඉදිරියෙන් බස් රථයේ පා පුවරුවෙන් බැසීමට සූදානම් වන විට ක්ලාන්ත වන අයුරින් රඟපා ඇත. එම අවස්ථාවේදීම, දරුවා වඩාගෙන පැමිණිලිකාරිය පිටුපසින් සිටි කාන්තාව “අනේ කලන්තේ හැදිලා, කලන්තේ හැදිලා” යැයි මහ හඬින් කෑගසමින් සේවිකාවගේ අවධානය වෙනතකට යොමු කර තිබේ. ක්ෂණිකව, ඇය කුඩා දරුවා එම සේවිකාවගේ උරහිසට තද කර ඇගේ ගෙලෙහි තිබූ රන් මාලය කඩාගෙන, දරුවාද රැගෙන බස් රථය පසුපසින් පැමිණි ත්‍රිරෝද රථයකට නැඟී පලා ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් වාර්තා කරයි.