ගංවතුරට අහුවෙච්චි චිකන් හඳුනා ගන්නේ කොහොමද

ගංවතුරට අහුවෙලා කුකුල් ෆාම්වල  ලක්ස ගණනින් සත්තු මැරුණා . මේ සතුන්ගේ මස් වෙළඳපොළට එන එක නවත්වන්න අවශ්‍ය ක්රියාමාර්ග ඒ කොට්ටාෂවල පීඑච්අයි මහත්තුරු විසින් ගනු ලබනවා. ඒ වගේ මස් වෙළඳපොළට එවන්න එපා කියල සහ එවැනි සැක සහිත මස් ආහාරයට ගන්න එපා කියලත්  දැණුම්වත් කිරීම් මේ දවස්වල සිද්ද කෙරෙනවා. කොච්චර කිවුවත් වැඩේ තවම තැන තැන සිද්ද වෙනව කියල එහෙම වෙළඳපොළට එවපු මස් අත්අඩංගුවට ගැනීම් හරහා පේන්න තියෙනවා. සමහර විට මේ මස් ශීතාගාරවල ගබඩා කරල තව මසෙකින් දෙකකින් වුනත් මාකට් එකට එන්න පුලුවන්. මේ දවස්වල අඩුවට චිකන් එහෙම හම්බ වුනොත් හරි, තඩි චිකන් පලුවක් එක්ක ලාබෙට රයිස්, බිරියානි එහෙම විකුණනවානම් ඒ මේවා වෙන්න පුලුවන්. 



ඒ නිසා සෞඛ්‍ය සම්පන්න නොවන, ගංවතුරට අහුවෙච්චි කුකුළු මස් හඳුනා ගන්න වැදගත් වෙයි කියල හිතෙන පොඩි කරුණු ටිකක් පහළින් දානවා. අවශ්‍ය කෙනෙක් කියවල දැණුම්වත් වෙන්න. තව කෙනෙකුට දැන ගන්න සෙයාර් කරන්න. 🫂

* සෞඛ්‍යයට හිතකර මස්වල ප්‍රධානම ලක්ෂණය වෙන්නේ ලේ ගැලීමේ ක්‍රියාවලියේ සම්පූර්ණත්වයයි. ඒ කියන්නේ මස්වලින් ලේ හොඳට  ඉවත් වෙලා තියෙනවා. ඒ නිසා හොඳ නැවුම් මස්වල වර්ණය:  සුදු පාට මේදය සහිතව ලා රෝස පැහැයෙන් තමයි තියෙන්න ඕන. ගංවතුරට අහුවෙලා හරි, ෆාම් එකේදි ලෙඩ වෙලා හරි මැරිච්ච කුකුළන්ගේ මස් තද රතු, දුඹුරු, අළු හෝ සමහර විට කොළ පැහැයට හුරු අළු පැහැයක් ගන්නවා.


*  වයනය: නැවුම් කුකුළු මස්වල තෙතමනය සහිත, මෘදු සහ තරමක් දිලිසෙන වයනයක් තියෙනවා. සේදීමෙන් පසුව වුනත් නරක් වූ හෝ මැරිච්ච සතුන්ගේ  මස්වල ලාවට හෝ තදට ඇලෙන සුළු ගතියක්  තියෙනවා. මස් ලිහිල් මෘදුයි, ගැලවෙන දියවෙන ගතියක් තියෙනවා. 


*  සුවඳ: නැවුම් කුකුළු මස්වල  ඉතා මෘදු ලාක්ෂණික ගන්ධයක් තියෙන අතර, නරක් වූ හෝ මිය ගිය කුකුළු මස්වල අපිරිසිදු,  තියුණු ගන්ධයක් තියෙනවා.  


* වෙනත් ලක්ෂණ:  තැලීම්, නිශ්චිත රුධිර වහනයක් (අවයව හෝ මාංශ පේශිවල කුඩා රුධිර ලප) හෝ රෝග ලක්ෂණ (උදා: වළාකුළු සහිත වායු බුබුළු හෝ ඉදිමුණු සන්ධි ) තියෙන්න පුලුවන් .


* හොදින් වර්ධනය නොවුණු තරුණ කුකුලන්ගේ අස්ථිවල නිසි ලෙස කැල්සියම් තැම්පත් වෙලා නෑ. ඒ නිසා ඒ වගේ නොමේරු සතුන්ගේ ඇට කටුවල තියෙන බෝන් මැරෝ එකෙන් රුධිරය අස්ථි මතු පිටට ලීක් වෙනවා. එවැනි සතුන්ගේ මස්වල කටු මතුපිට සහ කටු අවට මස්වල තද දුඹුරු පාට පැල්ලම් දකින්නට තිබෙනවා. 


*  ඇසුරුම: ඇසුරුම් කිරීමේ , කල් ඉකුත්වීමේ දින පරීක්ෂා කරන්න. දින මකා දමා හෝ අලුතින් ලියා තිබිය හැකිය. 


*  කරන්ට් එක නැතිව ශිතකරණවල ගබඩා කරල තිබුණු මස් එහෙමත් කරන්ට් එක ආවම ආයේ ෆ්රීස් කරල විකුණන්න ඉඩ තියෙනවා. එහෙම සැකයක් තියෙනවානම් මේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න .


* කරන්ට් එක ගිහින් පැය හතර පහක් යනකොට අධිශීත කළ කුකුළු මස් පැකට්වල ලේ මිශ්‍රව හෝ නැතිව  දියර ඇති වෙනවා. ඊට පස්සේ කරන්ට් එක ආවම ඒවා ආයෙමත් ඩීෆ්රීස් වෙනකොට පැකට් එක ඇතුලේ විශාල අයිස් ස්ඵටික වැනි පෙර දියවීමේ සලකුණු දකින්න පුලුවන්. 


* සුවඳ: නැවුම් අමු කුකුළු මස් වල ගන්ධය ඉතා අල්ප හෝ කිසිදු ගන්ධයක් නොමැති තරම් වේ. කුකුළු මස් දුර්ගන්ධයක් තිබේ නම් (සමහර විට ඇමෝනියා හෝ කුණු වූ බිත්තරවල ගන්ධය), එය ඉවතලන්න. හැබැයි නැවත අධිශීත කලොත් ගන්ධය එතරම් කැපී පෙනෙන්නේ නෑ,  ඒ නිසා මස් වල අයිස් දිය වෙලා මස් ලිහිල් වුනාම ගන්ධය සහ වයනය පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ.


වැදගත්. ; නරක් වුණු කුකුළු මස් සේදීමෙන් පසු ආරක්ෂිත නොවන අතර, සමහර බැක්ටීරියා වලින් පිට කරන විස පිසීමේදී පවා විනාශ නොවේ. තවද නරක් වූ මස්වල පෝෂණ ගුණද හානි වී ඇත.  එවැනි මස් ආහාරයට නොගත යුතු අතර , තමන්ට එවැනි මස් කවරෙකු විසින් හෝ අළෙවි කළොත් එවැනි කූට වෙළඳාම් ගැන ප්රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව දැණුවත් කරන්න.


සටහන : ගැමුණු සාලිය පෙරේරා .

මහජන සෞඛ්‍ය පරීක්ෂක

Previous Post Next Post

Contact Form