දෝහා සිට කටුනායකට ආ යානයේ බෝම්බ ඇතැයි Fake Email

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අද (28) දින පෙරවරුවේ දෝහා සිට පැමිණි ගුවන් යානයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් හේතුවෙන් එහි දැඩි ආරක්ෂක පරීක්ෂාවක් සිදුකර ඇත. මගීන් 245 දෙනෙකු රැගෙන පෙරවරු 8.27ට ගුවන්තොටුපොළට ලඟා වූ එම යානය තුළ පිපිරීමක් සිදුකිරීමට සූදානම්ව සිටි පුද්ගලයන් සිව්දෙනෙකු සිටින බවට කටුනායක ගුවන්තොටුපොළේ නිල විද්‍යුත් තැපැල් ලිපිනයට පණිවුඩයක් ලැබී තිබීම මෙයට හේතුව වී තිබේ.


මෙම තොරතුර සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ බලධාරීන් වහාම ක්‍රියාත්මක වී, අදාළ ගුවන් යානයේ නියමුවාගෙන් විමසීමක් සිදුකර ඇත. එහිදී යානය තුළ කිසිදු අනාරක්ෂිත තත්ත්වයක් නොමැති බව නියමුවා විසින් තහවුරු කර තිබේ.

නියමුවාගේ ප්‍රකාශය එසේ වුවත්, ගුවන් යානය ගොඩබැස්සවීමෙන් පසු එය විශේෂ ආරක්ෂිත අංගනයක් වෙත රැගෙන යාමට බලධාරීන් පියවර ගෙන තිබේ. පසුව සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය ඉවත් කර, බෝම්බ නිශ්ක්‍රිය අංශ ඇතුළු විශේෂඥ කණ්ඩායම් විසින් යානය දැඩි පරීක්ෂාවට ලක්කරනු ලැබ ඇත. කෙසේ වෙතත්, මෙම සෝදිසි මෙහෙයුමේදී යානය තුළින් කිසිදු සැක කටයුතු වස්තුවක් හෝ පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය තහවුරු කළේය.


පරීක්ෂාවන්ගෙන් අනතුරුව, ගුවන් යානය සාමාන්‍ය ගුවන් අංගනය වෙත යළි රැගෙන එන ලද අතර, පස්වරු 1.07ට එය දෝහා කටාර් බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව, මෙය පසුගිය 26 වැනිදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ බෝම්බයක් ඇති බවට ලද තොරතුර මෙන් ව්‍යාජ තොරතුරක් බව පොලිසිය නිගමනය කර තිබේ.

පොලිසිය විසින් සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම විද්‍යුත් පණිවුඩ දෙකම විදේශ රටක සිට මෙරටට එවා ඇති බවයි. මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන පුද්ගලයින් හඳුනාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ බුද්ධි අංශ විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය


Post a Comment

Previous Post Next Post

Contact Form