කොළඹ බෝවන රෝග විද්‍යායතනය (IDH) රෝහලට ඩෙංගු රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ඇතුළත් කර සිටියදී පසුගිය 11 වන දින මියගිය හෝමාගම හබරකඩ පදිංචි ශානිකා සමරපාල මහත්මිය (37) නම් දෙදරු මවගේ මරණය, ප්‍රමිතියෙන් තොර ඖෂධයක් ලබාදීම හේතුවෙන් සිදුවූවක් බවට සැකකරමින්, ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඇයගේ සැමියා ඊයේ (23) අතුරුගිරිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මියගිය කාන්තාවගේ සැමියා වන හෝමාගම, හබරකඩ පදිංචි බී. චානක මදුසංක මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, තම බිරිඳ ඩෙංගු රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් ගත කළ බවත්, ඔවුන්ට දරුවන් දෙදෙනකු සිටින බවත්ය. අදාළ ඖෂධය ලබා දුන් වහාම තම බිරිඳගේ හදවත නැවතී ඇති බවත්, වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ හය වතාවක් පමණ හදවත නැවතුණද, සෑම අවස්ථාවකදීම ප්‍රතිකාර ලබා දී යථා තත්ත්වයට පත් කළද, ඇයව බේරා ගැනීමට නොහැකි වූ බවත් ඔහු සඳහන් කළේය.
සිද්ධියට හේතුව වෛද්‍යවරුන්ටද අවබෝධ කර ගැනීමට නොහැකි වූ බවත්, මේ වන විට ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් මදුසංක මහතා කියා සිටියේය. "මොනවා කළත් දැන් මට මගේ බිරිඳ නැහැ. දරුවන්ට අම්මා නැහැ. එබැවින් මෙවැනි සිදුවීම් යළිත් වළක්වා ගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි" යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
