ගුවන් යානය නවතද්දී එන්ජිමට භාණ්ඩ බහාලුමක් ඇදී ගිහින්.

මේ කියන්න යන්නේ අද දවසේ ඇසෙන තවත් එක් විශේෂ කතාවක්. 

දිල්ලි ගුවන් තොටුපළේදී එයාර් ඉන්දියා ගුවන් යානයක් ධාවන පථයේ ගමන් කරමින් සිටියදී එහි එන්ජිමට භාණ්ඩ බහාලුමක් ඇද ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ගුවන් සේවා නියාමන ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැති නමුත්, යානයේ එන්ජිමට හානි සිදුවීම නිසා එය අලුත්වැඩියාව සඳහා නතර කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

නිව්යෝර්ක් බලා පියාසර කරමින් තිබූ මෙම Airbus A350 යානය, ඉරානය සිය ගුවන් සීමාව තාවකාලිකව වසා දැමීම නිසා ගුවන් ගමන් මාර්ග වෙනස් කිරීමට සිදු වීමෙන් යළි දිල්ලි වෙත පැමිණ තිබුණා.

යානය ආරක්ෂිතව ගොඩබස්වා මගීන් ද සමඟ ගාල් කරන ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී මෙම බහාලුම එහි දකුණු පස එන්ජිමට ඇදගෙන තිබෙන බව සඳහන්.

එම අවස්ථාවේ පැවති අධික මීදුම හේතුවෙන් දෘශ්‍යතාව ඉතා අවම මට්ටමක පැවති බව නියාමන ආයතනය පවසනවා.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ මගීන් 240 දෙනෙකු පමණ සිටි බවයි වාර්තාවල දැක්වෙන්නේ.

කාර්ය මණ්ඩලයේ 6 ත් 8 ත් අතර පිරිසක් එම අවස්ථාවේදී සිටින්නට ඇති බවට විශ්වාස කෙරෙනවා.

ගමන් මලු සහ භාණ්ඩ ප්‍රවාහනය කරන වාහනයකට සම්බන්ධ කර තිබූ වාහනයක රෝදයක් ගැලවී යාමෙන් මෙම භාණ්ඩ බහාලුම අහඹු ලෙස ධාවන පථයට වැටී තිබුණා.

වාහනය පදවන්නා ගුවන් යානය පැමිණෙනු දැක ඉතිරි භාණ්ඩ සමඟ එම ස්ථානයෙන් ඉවත් වී ඇති නමුත්, වැටුණු බහාලුම එතැනම ඉතිරි වී තිබෙනවා.

පසුව එය යානයේ අංක 2 එන්ජිමට ඇතුළුවී ඇත්තේ ඒ අනුවයි.

ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් (DGCA) කාර්යාලය පැවසුවේ ධාවන පථයේ තිබූ ලෝහ කොටස් ඉවත් කර යානය ගාල් කර ඇති බවයි.

ඔවුන් මේ පිළිබඳව සවිස්තරාත්මක පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඡායාරූපවලින් එන්ජිමේ ආවරණයට සහ පංකා තලවලට සිදුවී ඇති හානිය දැකගත හැකියි.

මෙම සිදුවීම ඉන්දියාවේ කාර්යබහුල ගුවන් තොටුපළවල භූමිය මත ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීමට හේතු වී තිබෙන බව සඳහන්.


Post a Comment

Previous Post Next Post

Contact Form