ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ, පඩිකාරමඩුව, නුවරගම් ප්‍රදේශයෙන් අද (06) අලුයම ඛේදනීය පවුල් ආරවුලක අවසානයක් වාර්තා විය. පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු සිය නිවසට පෙට්‍රල් දමා ගිනි තැබීමෙන්, ඔහු සහ ඔහුගේ 13 හැවිරිදි බාල දියණිය ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම සිදුවීමෙන් පවුලේ තවත් සිව්දෙනෙකු බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.අද අලුයම 2.00 ට පමණ මෙම අපරාධය සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරයි. ගින්නට හසුවීමෙන්, නිවසේ ගෘහමූලිකයා වූ 43 හැවිරිදි පියා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය එම ස්ථානයේදීම මියගොස් ඇත. සිද්ධියෙන් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ 36 හැවිරිදි මව, 15 හැවිරිදි වැඩිමහල් දියණිය සහ 66 හැවිරිදි මිත්තණිය මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
ගිනි තැබීම සිදුවන අවස්ථාවේදී පවුලේ 20 හැවිරිදි පිරිමි දරුවා නිවසේ රැඳී සිට නොමැත. කෙසේවෙතත්, ගින්න හටගත් බව සැලවීමත් සමඟ ඔහු වහාම එම ස්ථානයට පැමිණ තිබේ. ගින්නෙන් දැවෙමින් සිටි සිය මව සහ සහෝදරියන් බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමේදී, එම තරුණයාද පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කිරීමට සිදුව ඇති බව පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලීසිය විසින් සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, ගිනි තැබීම සිදුකළ පුද්ගලයා නිරන්තරයෙන් මත්පැන් පානය කර සිය බිරිඳ සමඟ ආරවුල් ඇති කර ගන්නා අයෙකු බවය. එමෙන්ම, මෙම පවුල් ආරවුල් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් වී ඇති අතර, එවැනි අවස්ථාවලදී පොලීසිය මැදිහත් වී දෙපාර්ශ්වයටම අවවාද කර ඇති බවද වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
