අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීන සමාගම ඉවත් වෙයි

 අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය, රජයේ බලධාරීන් විසින් නීති විරෝධී ලෙස අත්හිටුවා ඇති බැවින් එමගින් තමන්ට සිදු වූ පාඩුව අයකර ගැනීමට නීති උපදෙස් ලබාගනිමින් සිටින බව, ආයෝජන සමාගම වන ඇම්බර් ඇඩ්වෙන්චර්ස් පවසනවා.


සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සහ පැමිණිලි මත පදනම්ව, මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් පසුගිය ජනවාරි 9 වැනිදා නිකුත් කළ ලිපියක් මගින් ව්‍යාපෘතියේ කටයුතු තාවකාලිකව නවතා දමා තිබෙන බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ.

මේ සඳහා වහාම මැදිහත් වන ලෙස ඇම්බර් ඇඩ්වෙන්චර්ස් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් (BOI) ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් 2026 ජනවාරි 13 වැනිදා ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ අධ්‍යක්ෂ හුවැන්ග් යූපින්ග්ගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත යොමුකරන ලද ලිපියේ පිටපත් ජනාධිපතිවරයා, පරිසර අමාත්‍යවරයා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙත යවා තිබෙනවා.

ලිපිය මගින් සමාගම වැඩිදුරටත් පවසා ඇත්තේ මෙය අත්තනෝමතික මැදිහත්වීමක් බවත්, මේ පිළිබඳ නීතිමය පියවර ගන්නා බවයි.

නීති විරෝධී බාධා කිරීම්, අවහිර කිරීම් සහ මැදිහත්වීම් හේතුවෙන් මෙම ව්‍යාපෘතිය නතර කිරීමට ඇති හැකියාව පිළිබඳව තම පාර්ශවකරුවන් සහ නීති උපදේශකයින් සමඟ මේ වන විට නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව ව්‍යාපෘති බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් යුක්ත වන අතර එහි මුළු ආයෝජනය ඩොලර් මිලියන 12.75ක්.

මින් ඩොලර් මිලියන 3.5ක් දැනටමත් ආයෝජනය කර තිබෙනවා.

එම මුදල් 2022 ආර්ථික අර්බුදය පැවති සමයේ ශ්‍රී ලංකාව, ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය යන රටවල ආයෝජකයින්ගෙන් ලබාගෙන තිබුණා 

'ඉදිකිරීම-මෙහෙයවීම-පවරාදීම' (BOT) පදනම යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ මූල්‍ය සහ තාක්ෂණික අවදානම ආයෝජකයින් දරන අතර, වසර 13කට පසු රුපියල් බිලියන 5කට වඩා වටිනා මෙම පද්ධතිය නොමිලේ රජයට පැවරීමට නියමිතව තිබුණා.

ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ආයෝජන මණ්ඩලය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO), සංචාරක සංවර්ධන අධිකාරිය, ආරක්ෂක අමාත්‍යාංශය සහ කැබිනට් මණ්ඩලය ඇතුළු සියලු ආයතනවල අනුමැතිය ලබාගෙන තිබූ බව සමාගම අවධාරණය කරනවා. 

එසේ තිබියදීත්, ඇතැම් රාජ්‍ය ආයතනවලින් දිගින් දිගටම හිරිහැර එල්ල වූ බවත්, උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරයාගේ ක්‍රියාකලාපය අනිසි සහගත බවත් මීට පෙර අභියාචනාධිකරණය පවා තීන්දු කර ඔහුට රුපියල් 100,000ක පුද්ගලික නඩු ගාස්තු ගෙවන ලෙස නියෝග කළ බවත් එහි සඳහන්. 

දිට්වා සුළි කුණාටුවෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) කළ පරීක්ෂණවලදී ඉදිකිරීම් භූමියේ නායයෑම් අවදානමක් නොමැති බව තහවුරු වී තිබියදීත්, සමාජ මාධ්‍යයේ පැතිරෙන අසත්‍ය ප්‍රචාර මත ව්‍යාපෘතිය නැවැත්වීම රටේ නියාමන පද්ධතියේ බිඳවැටීමක් බව සමාගම පවසනවා. 

ව්‍යාපෘතිය සඳහා ලබා දී ඇති ඉඩම් ප්‍රදානය අවලංගු කිරීමට ද රජය උත්සාහ කරන බවටයි සමාගම සැක පළ කරන්නේ.

මෙවැනි පසුබිමක් තුළ ව්‍යාපෘතිය දිගටම පවත්වාගෙන යා නොහැකි බැවින්, චීනය පදනම් වූ අදාළ සමාගම පියවර ගනිමින් සිටිනවා.

Post a Comment

Previous Post Next Post

Contact Form