ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හෙට (09) පස්වරුවේ දිවයිනට ඇතුළු වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ පුරෝකථනයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් විශේෂ නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
පවතින පද්ධතිය හෙට (09) පස්වරු 5:30 සිට රාත්‍රී 11:30 දක්වා වූ කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා රට තුළට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ හේතුවෙන් පවතින වර්ෂාව සහ මෑතකදී ඇති වූ භූ අස්ථාවර තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, පහත සඳහන් නායයෑම් අවදානම් කලාපවල ජීවත්වන ජනතාවට 2026 ජනවාරි 09 වන දින පස්වරු කාලයට පෙර ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසයි දැනුම් දෙන්නේ.
මෙම දැනුම්දීම ප්‍රධාන වශයෙන් පහත ප්‍රදේශවලට අදාළ වේ.
මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ, මැදදුම්බර, පන්විල, දොළුව, දෙල්තොට සහ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ,
බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය, පස්සර, බදුල්ල, ලුණුගල, හපුතලේ, ඇල්ල, බණ්ඩාරවෙල, හාලි ඇල, වැලිමඩ, මීගහකිවුල සහ ඌව පරණගම,
මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, අඹන්ගඟ කෝරළේ, රත්තොට, නාඋල, උකුවෙල සහ ලග්ගල පල්ලේගම,
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, නිලදණ්ඩාහින්න, මතුරට, හඟුරන්කෙත සහ නුවරඑළිය
ඒ අනුව, නායයෑම් පූර්ව ලක්ෂණ පෙන්වන ස්ථාන, බෑවුම්, නිම්න සහ මිනිසා විසින් සකස් කළ කණ්ඩි ආශ්‍රිතව ජීවත්වන ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කර සිටින්නේ.
එම නිවේදනය පහතින්,

