නිව්යෝක් නුවර බෘෘක්ලින්හි මෙට්‍රපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අද (05) නිව්යෝක් නුවර මැන්හැට්න්හි ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මදුරෝ රඳවා සිටින මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානය ඉදිරිපිට අමෙරිකාව, වෙනිසියුලාවට මැදිහත්වීමට විරෝධය පළකිරීමේ උද්ඝෝෂණයක්ද ක්‍රියාත්මක විය.
මදුරෝට එල්ලවන චෝදනාවලට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය කල්ලි වන සිනලෝවා සහ ට්‍රෙන් - ඩි - අරගුවා වෙත සහාය දැක්වීම ඇතුළත් වේ.
ඔහු අමෙරිකාවට කොකේන් මත්ද්‍රව්‍ය එවීමේ මගපෙන්වන්නකු බවත්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ආරක්ෂිතව සිදුකිරීම සඳහා වෙනිසියුලානු හමුදාව පවා යොදාගෙන ඇති බවත් අමෙරිකාව නගන චෝදනාවකි.
මදුරෝට එරෙහිව මෙම චෝදනා අමෙරිකාව මුලින්ම ගොනු කළේ 2020 වසරේදී.
දැන් ඔහුට හා ඔහුගේ බිරිඳ සීලියා ෆ්ලෝරේස්ද ඇතුළත් කර යාවත්කාලීන කළ නව අධිචෝදනා පත්‍රයක් ජනපති ට්‍රම්ප්ගේ අධිකරණ දෙපාර්තමේන්තුව සකස්කර තිබේ.
වෙනිසියුලාව තුළ විරුද්ධ මතධාරීන් පැහැරගැනීම් සහ ඝාතන සම්බන්ධයෙන් මදුරෝගේ බිරිඳටත් චෝදනා ගොනුකර ඇත.
මදුරෝ පාලනය වෙනිසියුලාවේ නීත්‍යනුකූල රජය විදියට අමෙරිකාව 2024 වසරේ සිටම පිළිනොගත්තේය.
මත්ද්‍රව්‍ය කල්ලිවලට සහාය වූ බවට අමෙරිකාව එල්ලකරන චෝදනා නිකලස් මදුරෝ දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.
කෙසේ නමුත් වෙනිසියුලාවට කඩාවැදී මදුරෝ පැහැරගෙන අමෙරිකාවට රැගෙන ඒමේ මෙහෙයුම අතිශය සංකීර්ණ, ඒවගේම ඇදහිය නොහැකි මෙහෙයුමක් බව කිව යුතුමය.
ඔපරේෂන් ඇබ්සලයුට් රිසෝල්ව් නැත්නම් පූර්ණ විසඳාගැනීම ලෙස නම් කළ අමෙරිකානු මෙහෙයුම සම්බන්ධයෙන් නව තොරතුරු රැසක් දැන් අනාවරණය වෙමින් පවති.
පසුගිය සෙනසුරාදා අමෙරිකානු වේලාවෙන් 4.21ට ජනපති ට්‍රම්ප් තමන්ගේ ටෘත් සෝෂල් සමාජ මාධ්‍යයේ සටහනක් පළකරමින් මදුරෝ සහ බිරිඳ අත්අඩංගුවටගත් පුවත ලෝකයට හෙළි කළේය.
එය පුදුම සහගත ක්‍රියාමාර්ගයක් වුවත් ඒ සඳහා අමෙරිකාව මාස ගණනක් පුරා සූදානම් වූ බව අනාවරණය වේ.
මෙහෙයුම සිදුකළ අමෙරිකානු හමුදාවේ ප්‍රධානතම ත්‍රස්ත මර්දන ඒකකය වන 'ඩෙල්ටා ෆෝස්' පෙරහුරුවක් සඳහා මදුරෝගේ ආරක්ෂිත නිවහනේ ආකෘතියක්ද නිර්මාණය කර තිබේ.
ඒ අතරේ CIA සංවිධානයේ කුඩා කණ්ඩායම් පසුගිය අගෝස්තු මාසයේ සිටම මදුරෝගේ හැසිරීම් රටාව සහ ඔහු යන එන තැන් පිළිබඳ ඔත්තු බලා තිබේ.
එමෙන්ම ඔහුගේ ගමන් බිමන් ඒ මොහොතේම දැනගත හැකි ඔත්තුකරුවන්ද යොදවා තිබේ.
මෙහෙයුම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයේ සමීපතමයන් නිරන්තරයෙන් හමුවී සාකච්ඡා කර ඇත.
රාජ්‍ය ලේකම් රූබියෝ, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් එම කණ්ඩායමට අයත් වේ.
අවසානයේ මෙහෙයුම සඳහා මීට දින 04කට පෙර ජනපති ට්‍රම්ප් අවසර ලබාදුන්නත් මෙහෙයුමට සහාය වන වළාකුළු අඩු කාලගුණ තත්ත්වයක් ඇතිවනතුරු ආරක්ෂක හමුදා පසුගිය සිකුරාදා වනතුරු බලා සිට තිබේ.
සිකුරාදා රාත්‍රී 10.46ට ජනපති ට්‍රම්ප්ගේ අවසන් නියෝගයත් සමග ක්‍රියාත්මක වූ අමෙරිකානු හමුදා වෙනිසියුලාවට බෝම්බ ප්‍රහාර එල්ල කරද්දී, ජනපති ට්‍රම්ප් මා - අ - ලාගෝ නිකේතනයේ සිට සිය සමීපතමයන් සමග එය සජීවීව නැරඹූ බව වාර්තා විය.
ඒවනවිටත් වෙනිසියුලාවට ඔබ්බෙන් කැරිබියානු මුහුදේ ගොඩනගා තිබූ අමෙරිකානු නාවික බලය මෙහෙයුමට ප්‍රධාන වශයෙන් යොදාගෙන ඇත.
එහි ගුවන් යානා, ප්‍රහාරක නෞකාවක් ඇතුළු යුද නෞකා 11ක් F - 35 ප්‍රහාරක යානා සහ 15,000කට අධික හමුදා භටයින් රඳවා සිට ඇත.
එහෙත් බටහිර අර්ධගෝලයේ ස්ථාන 20කින් නික්මුණු ගුවන්යානා 150කට වැඩි සංඛ්‍යාවක් මෙහෙයුම සඳහා එක්වූ බව ට්‍රම්ප් පරිපාලනය සඳහන් කළේය.
ඊට F - 35, F - 22 ප්‍රහාරක ජෙට් යානා වගේම B - 1 බෝම්බ ප්‍රහාරක යානාද ඇතුළත් වේ.
කරාකස් නුවර සහ අනෙකුත් ප්‍රදේශවල පිහිටි වෙනිසියුලානු හමුදා මර්මස්ථාන වෙත ගුවන් ප්‍රහාර එල්ල කරද්දි අමෙරිකානු හමුදාවේ ඩෙල්ටා බලකාය මදුරෝ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට එක්වී ඇත.
සෙනසුරාදා අලුයම 10ට පමණ කරාකස් නුවර මදුරෝගේ දැඩි රැකවල් සහිත මදුරෝගේ නිවහනට හෙලිකොප්ටර් මාර්ගයෙන් ගොඩබට ඩෙල්ටා භටයින් එහි වානේ දොරවල් බිඳ ඊට ඇතුළු වී ඇත.
සිය මැදුරේ ආරක්ෂිත කාමරයකට ඇතුළු වීමට මදුරෝ උත්සාහ කළත් ඔහුව එහි දොර වසා ගැනීමට නොැකිවීම නිසා අමෙරිකානු හමුදා වෙත යටත්වූ බව අනාවරණය වී තිබේ.
මදුරෝ සහ බිරිඳ හෙලිකොප්ටර් මගින් අමෙරිකානු යුද නෞකාවක් වෙත රැගෙනවිත් පසුව ගුවන් මගින් නිව්යෝර්ක් වෙත රැගෙන එනු ලැබීය.