පාරේ සිටි පුද්ගලයෙකුගේ අත් දෙක කපා අරන් යයි!

 පසුගිය වසරේ සිදුවූ ආරවුලකට පළිගැනීමක් ලෙස පුද්ගලයකුගේ දෑත් මැණික් කටුව අසලින් කපා වෙන්කර රැගෙන යාමේ  පුවතක් හක්මන ප්‍රදේශයෙන් වාර්තා වේ. 



මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර පියෙකු, පුතෙකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා හක්මන පොලිසිය මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පෙරේදා රාත්‍රියේ හක්මන - මාතර මාර්ගයේ රණවිරු බස් නැවතුම්පොළ අසල රැඳී සිටි පුද්ගලයකු ත්‍රිරෝද රථයකින් පැහැරගෙන සැකකරුවන්ගේ නිවසට රැගෙන ගොස් එහිදී තියුණු ආයුධයකින් ඔහුගේ දෑත් මැණික් කටුවලින් වෙන් කර තිබේ. පසුව කපා ඉවත් කළ දෑත් පොලිතින් බෑගයක බහාගෙන සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

දරුණු ලෙස තුවාල ලැබූ වින්දිතයා මේ වන විට මාතර රෝහලේ දැඩි සත්කාර මධ්‍යසාර යටතේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

පොලිස් පරීක්ෂණවලට අනුව, මෙලෙස ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා 2024 අගෝස්තු 6 වැනිදා අදාළ සැකකාර පුත්‍රයාගේ අතක් කපා තුවාල කිරීම සහ පියාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි. 

එම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු මෑතකදී ඇප මත මුදාහැර සිටි අයකු බව හෙළි වී තිබේ. ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම දෑත් කපා වෙන් කිරීමේ සිදුවීම සැලසුම් කර ඇත.

අපරාධය සිදුකිරීමෙන් පසු ප්‍රදේශය අතහැර පලාගොස් සිටින සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා හක්මන පොලිසියේ අපරාධ විමර්ශන අංශය කණ්ඩායම් කිහිපයක් යොදවා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

Post a Comment

Previous Post Next Post

Contact Form