පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවත් සමඟ දෙල්තොට වත්තේ ගල්ලන්තැන්න පහළ කොටසේ පිහිටි ශ්‍රී මුත්තු මාරි අම්මාන් කෝවිල අසලට පෙරළී ආ ආන්දෝලනාත්මක පාෂාණය කිසිදු වටිනාකමක් නොමැති සාමාන්‍ය ගලක් බව විද්‍යාත්මක පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. අදාළ ගල පෙරළී ඒමෙන් පසු එය නිල් පැහැයෙන් දිස්වීම හේතුවෙන් මෙය ඉතා වටිනා මැණික් පාෂාණයක් බවට ප්‍රදේශය පුරා දැඩි කතාබහක් නිර්මාණය වී තිබිණි.
ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් භූමියක මෙම සිදුවීම වාර්තා වීමත් සමඟ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අවධානය ඊට යොමු විය. ඒ අනුව නාවුල කාර්යාලයේ පී.ඩී.ඒ.පී. සුබසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ සිදුකර, වැඩිදුර විමර්ශන සඳහා පාෂාණ කොටස් ලබා ගැනීමට කටයුතු කරන ලදී.
ලබාගත් එම සාම්පල කොළඹ පිහිටි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයීය රසායනාගාරය වෙත යොමු කරමින් සිදුකළ සියුම් පරීක්ෂාවලදී අනාවරණය වී ඇත්තේ එය කිසිදු මූල්‍යමය හෝ මැණික් වටිනාකමකින් තොර සාමාන්‍ය පාෂාණයක් පමණක් බවයි.
අදාළ රසායනාගාර වාර්තාව මගින් මේ බව තහවුරු කිරීමෙන් අනතුරුව, ඊයේ සවස් කාලයේදී ඒ පිළිබඳව ලිඛිතව ගලහ පොලිසිය වෙත දැනුම් දී තිබේ. මෙම නිල දැනුම් දීමත් සමඟ, මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මෙතෙක් එම ස්ථානයට ලබා දී තිබූ පොලිස් මුරපොළවල් සහ ආරක්ෂාව ඉවත් කිරීමට ගලහ පොලිසිය මේ වන විට පියවර ගනිමින් සිටියි.
