මහරගම - පන්නිපිටිය හයිලෙවල් මාර්ගයේ මුදල් ඔට්ටුවට අනතුරුදායක ලෙස යතුරුපැදි තරග පැවැත්වූ තරුණයන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා.
එහිදී තරුණයින් 18 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
එසේ අත්අඩංගුවට ගත් තරුණයින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි 13 දෙනෙකු මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර ඇත්තේ.
යතුරුපැදි 11ක් සහ ත්‍රීරෝද රථයක් එහිදී පොලිස් භාරයට ගෙන ඇති අතර, අදාළ තරුණයින් වට්ස්ඇප් සමූහයක් හරහා මෙය සංවිධාන කර ඇති බවටයි වාර්තා වන්නේ.
ඔවුන් මහරගම - පන්නිපිටිය හයිලෙවල් මාර්ගයේ අදාළ තරග සංවිධාන කර තිබුණේ අධි බලැති යතුරුපැදි ද ඇතුළු තවත් යතුරුපැදි රැසක් එක්කරගනිමින්.
එමෙන්ම අදාළ තරුණයින්, තරුණියන්ව ද යතුරුපැදි පිටුපස හිඳවාගෙන අනතුරුදායක ලෙස එම යතුරුපැදි ධාවනය කර තිබෙනවා.
මෙලෙස අධික ශබ්ද නංවමින් අපරික්ෂාකාරී ලෙස සිදුකරන යතුරුපැදි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් පොලිසියට දැනුම් දී ඇති අතර, ඒ අනුව මහරගම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම තරුණයින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් පිරිස මහරගම, හෝමාගම, මත්තේගොඩ, කොට්ටාව ප්‍රදේශවල පදිංචිකරුවන්.
Tags
Trending
