"දිට්වා" ශ්‍රී ලංකා සාගරයේ මුහුදු සැතපුම් 200ක සාගර ජලය අපවිත්‍ර කරයි

"දිට්වා" සුළි කුණාටුවේ බලපෑමට ලක්ව සිදුවූ නාය යාම් සහ ගංවතුර තත්ත්වය නිසා සාගරයට ගසාගෙන ආ ටොන් ගණනාවක කාබනික ශාක කොටස් හේතුවෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මුහුදු සැතපුම් 200ක දුරකට සාගරය දූෂණයට ලක් වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරනවා.
මෙවර මධ්‍යම කඳුකර ප්‍රදේශයන්හි මෙන්ම අනෙකුත් ප්‍රදේශයන්හි ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් උද්ගත වූ ගංවතුර තත්ත්වයෙන් ගංගා ද්‍රෝණි හරහා සාගරයට එක් වු කැලි කසල නිසා මෙරට මත්ස්‍ය කර්මාන්තයට ද දැඩි තර්ජනයක් එල්ල වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර අවධාරණය කරනවා. මීට කලින් පැවති ගංවතුර තත්ත්වයන්වලදී ගංගා ද්‍රෝණි හරහා වැඩි වශයෙන් සාගරයට ගලා එනු ලැබුවේ ප්ලාස්ටික් සහ පොලිතින් වැනි අපද්‍රව්‍ය වුවත් මෙවර වැඩිම ප්‍රමාණයක් කාබනික ශාක කොටස්, රෙදිපිළි, ලී වර්ග, වීදුරු, ප්ලාස්ටික් බෝතල් සහ උපකරණ, පොලිතින්, සත්ව කොටස් මෙන්ම විශාල වශයෙන් කැළිකසල ටොන් ගණනක් සාගරයට මුසුවීම නිසා සාගර ජලය අපවිත්‍ර වී තිබෙන බවයි සඳහන් වන්නේ. මෙහිදී නකල්ස්, ශ්‍රී පාදය මෙන්ම වන රක්ෂිතයන්හි මෙන්ම මධ්‍යම කඳුකරයේ සිට සාගරයට ගලා එනු ලැබූ කාබනික ශාක කොටස් සාගර ජලයේ තවදුරටත් පැවතීම නිසා සාගර ජලය අපවිත්‍ර වීමේ තර්ජනයකට ද මුහුණ පෑමට සිදුව ඇතැයි පැවසෙයි. මෙහිදී කොළඹ,මීගමුව, හලාවත,යාපනය, පුත්තලම කල්පිටිය, මන්නාරම, ඩෙල්ෆ්ට් දූපත් මෙන්ම නැගෙනහිර පළාතේ මුහුදු තීරයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බවට මෙහිදී හඳුනාගෙන තිබේ. පැවති අයහපත් කාලගුණ තත්ත්වය පහව යාමෙන් අනතුරුවත් ගංගා ද්‍රෝණි හා වැව් හරහා ජනතාව තවදුරටත් ප්ලාස්ටික්,පොලිතින් වැනි අපද්‍රව්‍ය මුදා හරින බැවින් එම ක්‍රියා පිළිවෙත වහාම නවතා දමන ලෙස සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඉදිරියේදී සාගරයට මුසුවන ප්ලාස්ටික් සහ කැලි කසල අවම කිරීම සඳහා මුහුදට ගලා බසින වැව් අමුණු, ඇළ දොළවල් මෙන්ම ගංගා ද්‍රෝණි හරහා ආරක්ෂිත දැල් විශේෂයක් යෙදවීමට බලාපොරොත්තු වන බවයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Previous Post Next Post

Contact Form