වාර්තාවේ දැක්වෙන ආර්ථික දර්ශකයන්ට අනුව, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2024 වසරේදී සියයට 5.0ක වර්ධනයක් වාර්තා කළද, එය 2025 වසරේදී සියයට 4.2ක් දක්වා අඩුවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
විශේෂයෙන්ම 2026 වසරේදී ආර්ථික වර්ධන වේගය සියයට 2.9ක් දක්වා තවදුරටත් මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර තිබීම විශේෂත්වයකි.
කෙසේ වෙතත්, 2027 වසරේදී එය සියයට 3.1ක සුළු වර්ධනයක් පෙන්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ නොවැම්බර් 28 වනදා ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටුව හේතුවෙන් ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.
මෙම ව්‍යසනය හේතුවෙන් යටිතල පහසුකම් විනාශ වීම සහ ජීවනෝපායන් අහිමි වීම නිසා සැලකිය යුතු මූල්‍ය පීඩනයක් නිර්මාණය වී ඇත.
ආර්ථිකය යම් ස්ථාවරත්වයකට පැමිණෙමින් තිබුණද, දළ දේශීය නිෂ්පාදිතය තවමත් ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට පැමිණ නොමැති බව IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා අවධාරණය කරයි.
පවතින හදිසි තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළ පස්වන සමාලෝචනය (Fifth Review) කල් දැමීමට සිදුව ඇත. ආර්ථිකයට සිදුවූ හානිය තක්සේරු කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ සාකච්ඡා 2026 මුල් භාගයේදී යළි ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව මූල්‍ය විනය පවත්වා ගනිමින් ආර්ථිකය ස්ථාවර කිරීමට කැපවී සිටින බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය ලබා දෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.