මාධ්‍ය නිදහසේ 'බැටළු හම' පොරවාගෙන බලයට පැමිණි ආණ්ඩුව දැන් සැබෑ 'වෘක ස්වරූපය' පෙන්වන්නට පටන් අරන් - ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි කිරීමට දරන උත්සාහය, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මෙන්ම මාධ්‍ය නිදහස දරුණු ලෙස මර්දනය කිරීමක් බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.

රජයට සම්බන්ධ පාර්ශ්වයක ගංජා වගාවක් පිළිබඳ අනාවරණය කළ පුවතක් පදනම් කර ගනිමින්, හිරු මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍රය අහෝසි කරන ලෙස පොලිසිය විසින් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා සිටීම සංගමයේ දැඩි පිළිකුලට ලක්ව ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ සිදුව ඇතැයි පැවසෙන වංචා සහ දූෂණ හෙළිදරව් කිරීමට එරෙහිව, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට හෙට (26) ගම්පොල පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවත් එම නිවේදනයේ සඳහන් අතර, මෙම ක්‍රියාවන් හුදෙක් සාක්ෂි ලබා ගැනීමක් නොව, රජයට හීලෑ කර ගැනීමට නොහැකි මාධ්‍යවේදීන් සහ ආයතන ඉලක්ක කර ගනිමින් දියත් කර ඇති අනීතික මර්දනයක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

සාවද්‍ය පුවත් පළවී ඇත්නම් ඒ සඳහා ක්‍රියාත්මක වීමට පිළිගත් නීතිමය ක්‍රමවේද තිබියදී, පොලිසිය මෙලෙස මැදිහත් වීම 'පොලිස් රාජ්‍යයක' ලක්ෂණයක් බවත් ඔවුහු සඳහන් කරනවා.

ජාතික ජන බලවේග ආණ්ඩුවේ ගතවූ මාස 15 ක කාලය පිළිබඳ අදහස් දක්වමින් සංගමය කියා සිටින්නේ, මාධ්‍ය නිදහසේ 'බැටළු හම' පොරවාගෙන බලයට පැමිණි ආණ්ඩුව දැන් සිය සැබෑ 'වෘක ස්වරූපය' පෙන්වමින් සිටින බවයි.

භාෂණයේ නිදහස හකුළුවාලීමට ගන්නා මෙම නිර්ලජ්ජිත උත්සාහයන් වහා නවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙළගැසෙන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

එම සංගමය නිකුත් කළ නිවේදනය පහතින්

Post a Comment

Previous Post Next Post

Contact Form