වැඩිම බේබද්දෝ ඉන්න පැත්තේ මරණත් වැඩිවෙයි‼️

 ලොව වැඩිම මත්පැන් පරිභෝජනයක් සහිත කලාපය වන යුරෝපයේ වසරකට සිදුවන සමස්ත මරණවලින් 11කින් 1ක් මත්පැන් නිසා සිදුවන බව සොයාගෙන තිබෙනවා.





ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, යුරෝපා කලාපය තුළ සිදුවන අනතුරු සහ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ මරණ තුනකින් එකකටම (1/3) සෘජුවම මත්පැන් වගකිව යුතුයි.


ඒ අනුව යුරෝපයේ වසරකට සිදුවන මත්පැන් මරණ ගණන 800,000ක් පමණ වන බව එහි සඳහන්.


මෙය මහජන සෞඛ්‍යයට දැඩි තර්ජනයක් වී ඇති අතර, විශේෂයෙන්ම මත්පැන් පරිභෝජනය ඉහළ යන උත්සව සමයන්හිදී මෙම අවදානම තවත් වැඩි වන බව එම සංවිධානය පෙන්වා දෙනවා.

2019 වසරේ දත්ත පදනම් කරගනිමින් WHO පවසන්නේ, යුරෝපා කලාපයේ ස්වයං හානි කර ගැනීම්, මාර්ග අනතුරු සහ ඇද වැටීම් වැනි අනතුරු නිසා සිදුවූ මරණ 145,000ක් පමණ මත්පැන් භාවිතය නිසා සිදුවී තිබෙන බවයි.

එම වසරේ සිදුවූ පුද්ගලයන් අතර ප්‍රචණ්ඩකාරී මරණවලින් 40%කට වඩා වැඩි ප්‍රමාණයක් සහ ස්වයං හානි කරගැනීම්වලින් තුනෙන් එකකට (1/3) වඩා වැඩි ප්‍රමාණයක් මත්පැන් භාවිතය හා සම්බන්ධයි.

මෙයින් කාන්තාවන් සහ දරුවන් දැඩි ලෙස පීඩාවට පත්වන බව ද සඳහන්.

අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා තරුණ සහ නව යොවුන් වියේ පසුවන්නන් අතර මාර්ග අනතුරු, දියේ ගිලීම් සහ ඇද වැටීම් බහුලව දක්නට ලැබෙන්නක් බව එම වාර්තාවේ පෙන්වා දෙනවා.


මත්පැන් යනු පුද්ගලයෙකුගේ තීරණ ගැනීමේ හැකියාව අඩාල කරන සහ අවදානම් සහගත ක්‍රියාවන්ට පොළඹවන විෂ සහිත ද්‍රව්‍යයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

නැගෙනහිර යුරෝපීය රටවල තත්ත්වය ඉතා දරුණු වන අතර, ඇතැම් රටවල සිදුවන අනතුරු මරණවලින් අඩකට වඩා (50%+) මත්පැන් සම්බන්ධයි.

බටහිර සහ දකුණු යුරෝපීය රටවල මෙම අගය 20%කට වඩා අඩු මට්ටමක පවතින බව සඳහන්.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මත්පැන් මත පනවන බදු ඉහළ දැමීම, ප්‍රචාරණ කටයුතු තහනම් කිරීම සහ මත්පැන් පානය කර රිය පැදවීමට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීම වැනි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය රජයන්ගෙන් ඉල්ලා සිටිනවා.

එවැනි පියවර මගින් වසරකට අකාලයේ සිදුවන මරණ දස දහස් ගණනක් වළක්වා ගත හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Post a Comment

Previous Post Next Post

Contact Form