ලොව පුරා ප්‍රකට, අසැබි වීඩියෝ ඇතුළත් වෙබ් අඩවියක සිදුවූ විශාල ආරක්ෂක උල්ලංඝනයක් හේතුවෙන් එහි මුදල් ගෙවා නරඹන පරිශීලකයින් (premium users) මිලියන 200කට අධික සංඛ්‍යාවකගේ දත්ත සොරකම් කර තිබීමට ඉඩ ඇතැයි එම වෙබ් අඩවිය දැනුම් දී තිබෙනවා.
අනවසරයෙන් දත්ත සොරකම් කරන (හැකර්) කණ්ඩායමක් වන ෂයිනි හන්ටර්ස් විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති අතර, ඔවුන් කියා සිටින්නේ විද්‍යුත් තැපැල් ලිපින, සෙවුම් ඉතිහාසය සහ ක්‍රියාකාරකම් වැනි සංවේදී තොරතුරුවලට ඔවුන් ප්‍රවේශ වූ බවයි.
විදෙස් වාර්තාවලට අනුව, සොරකම් කරන ලද දත්ත ප්‍රමාණය 94GB ක්.
ඊට වාරික ගෙවීම් කර නරඹන පරිශීලකයන්ගේ විද්‍යුත් තැපැල් ලිපින, ස්ථාන, නරඹන ලද වීඩියෝ, වීඩියෝ හා සම්බන්ධ මූල පද, වීඩියෝ නරඹන ලද වේලාවන් සහ ඒවා බාගත කර තිබේද යන්න ඇතුළත්.
හැකර්වරුන් මෙම දත්ත සොරකම් කිරීමෙන් පසු කප්පම් මුදල් ඉල්ලා ඇති බව සඳහන්.
අදාල වෙබ් අඩවිය තහවුරු කළේ, මෙම අනවසර ප්‍රවේශය සිදුව ඇත්තේ මික්ස්පැනල් නම් තෙවන පාර්ශවීය දත්ත විශ්ලේෂණ සේවා සැපයුම්කරුවෙකු හරහා බවයි.
කෙසේ වෙතත්, මෙය එම වෙබ් අඩවියේ වාරික පද්ධතිවල උල්ලංඝනයක් නොවන බවත්, අනවසර පාර්ශවයකට උපුටා ගැනීමට හැකි වූයේ සීමිත විශ්ලේෂණ සිදුවීම් සමූහයක් පමණක් බවත් වෙබ් අඩවිය සඳහන් කරනවා.
මුරපද, ගෙවීම් විස්තර සහ මූල්‍ය තොරතුරු ආරක්ෂිතව පවතින බවත් ඒවා නිරාවරණය නොවූ බවත් අදාල වෙබ් අඩවිය අවධාරණය කරනවා.
වාරික ප්‍රවේශය සඳහා පරිශීලකයින් මසකට දළ වශයෙන් පවුම් 11ක් ගෙවනු ලබන බව සඳහන්.
තෙවන පාර්ශවීය සේවාවක් වන මික්ස්පැනල්, නොවැම්බර් 27 දින තමන් ද සයිබර් ආරක්ෂක සිදුවීමකට මුහුණ පෑ බව හෙළි කළා.
නමුත් මික්ස්පැනල් කියා සිටින්නේ, මෙම දත්ත ඔවුන්ගේ 2025 නොවැම්බර් ආරක්ෂක සිදුවීමෙන් සොරකම් කරන ලද බවට කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකි බවයි.
ඔවුන් වැඩිදුරටත් පැවසුවේ, මෙම දත්ත අවසන් වරට ප්‍රවේශ වී ඇත්තේ 2023 දී මෙම වෙබ් අඩවියේ මව් සමාගමේ නීත්‍යානුකූල සේවක ගිණුමක් මගින් බවයි.
ෂයිනි හන්ටර්ස් යනු සේල්ස්ෆෝර්ස් සහ එක්සත් රාජධානියේ සුඛෝපභෝගී සිල්ලර වෙළෙන්දන්ගේ දත්ත ඇතුළුව මෑත මාසවලදී කප්පම් ගැනීමේ උත්සාහයන් කිහිපයකට සම්බන්ධ වූ ප්‍රසිද්ධ හැකර් කණ්ඩායමක්.
පසුගිය මාසයේදී, බිලියන 1.3කට අධික මුරපද ප්‍රමාණයක් අන්තර්ජාලයේ නිරාවරණය වී ඇති බවට සයිබර් විශේෂඥයින් ජනතාවට අනතුරු ඇඟවූවා.
එය ඔවුන් මෙතෙක් සකස් කළ දත්තවලින් වඩාත්ම පුළුල් දත්ත සම්පාදනය ලෙස හඳුන්වා තිබුණා.
Tags
ගෝලීය
