ලබන ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මහනුවර මහා නගර සභා බල ප්‍රදේශය තුළ සියලුම ආකාරයේ වීදි වෙළඳාම් සම්පූර්ණයෙන් තහනම් කිරීමට තීරණය කර ඇති බව මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා පවසයි.
නගරයේ පිරිසිදුකම හා සුන්දරත්වය සුරැකීමත්, මහජනතාවට අවහිරයකින් තොරව නිදහසේ ගමන් කිරීමට ඉඩ සැලසීමත් මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බව නගරාධිපතිවරයා සඳහන් කළේය.
මෙම තහනම නගර මධ්‍යයට පමණක් සීමා නොවී, මුළු මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරේ.
මහනුවර නාගරික කලාපය තුළ විධිමත් නියාමන රාමුවක් සකස් කරන ලෙස මහජනතාවගෙන් දිගුකාලීනව ලැබුණු ඉල්ලීම් සහ මහජන සුභසාධනය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම තීරණය කිසිදු වෙනසකින් තොරව දැඩිව ක්‍රියාත්මක කරන බව ද හෙතෙම අවධාරණය කළේය.
මේ වන විටත් අදාළ පදික වේදිකා වෙළෙඳුන් වෙත සිය වෙළඳ කටයුතු නතර කරන ලෙස දන්වමින් මහනුවර මහ නගර සභාව මගින් නිල නිවේදන නිකුත් කර ඇත.
වෙනත් ස්ථාන කරා යාම සඳහා වෙළෙඳුන් ඉල්ලා සිටි තෙමසක සහන කාලය දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමට නියමිතය.
