BOC පුහුණුව අතරතුර 21 තරුණයා හුස්ම හිරවී මරුට

 ලංකා බැංකුවේ මාණ්ඩලික සහකාර තනතුර සඳහා තෝරා ගැනුණු ආධුනිකයන් පිරිසක් වෙනුවෙන් තුල්හිරිය MAS Athena ආයතනයේ පැවැති නේවාසික පුහුණු පාඨමාලාවක් අතරතුරදී, එහි වැසිකිළියක් තුළ වැටී මියගොස් සිටි තරුණයාගේ මරණයට හේතුව හුස්ම සිරවීමක් බව කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය මංගල කුමාර මහතා විසින් නිගමනය කර තිබේ.



මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අරණායක, නාරංගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි වලිසුන්දර මුදියන්සේලාගේ අකිල විමුක්ති වලිසුන්දර නැමැති 21 හැවිරිදි තරුණයෙකි.

මියගිය අකිල විමුක්තිගේ මවුපියන් දෙපළම ගුරුවරුන් වන අතර පවුලේ වැඩිමලා වූ ඔහුට බාල සහෝදරයකු ද සිටින බව වාර්තා වේ.




මාවනැල්ල මයුරපාද ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් අනතුරුව හය වැනි ශ්‍රේණියේ සිට කෑගලු මහා විද්‍යාලයට ඇතුළත් වී ඇති මොහු, එහිදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9ක් සහ ගණිත අංශයෙන් පෙනී සිටි උසස් පෙළ විභාගය ද ඉතා ඉහළින් සමත්ව තිබේ.

ලංකා බැංකුවේ මාණ්ඩලික සහකාර තනතුර සඳහා අයදුම්පත් යොමු කළ විසි දහසකට අධික පිරිසක් අතරින් තෝරා ගැනුණු 258 දෙනා අතරට මොහු ද අයත් වූ අතර, තෝරාගත් කණ්ඩායමේ සිටි ලාබාලතම සාමාජිකයා මොහු බව පොලිසිය සඳහන් කරයි.

එම ආධුනිකයන් පිරිස සඳහා ලංකා බැංකුව විසින් සංවිධානය කරන ලද දින පහක නේවාසික පුහුණු වැඩමුළුව ඉකුත් 16 වැනිදා ආරම්භ වී ඇති අතර ඒ සඳහා මෙම තරුණයා ඇතුළු පිරිස එදින තුල්හිරිය MAS Athena වෙත ගොස් ඇත.

වැඩමුළුවේ සිව්වැනි දිනය වූ ඉකුත් 19 වැනිදා මෙම තරුණයා උදෑසන සහ දිවා ආහාරය ලබා ගැනීමට පැමිණ නොතිබුණ ද වැඩමුළුව සංවිධානය කළ බැංකු නිලධාරීන් ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු කර නොමැති බවත්, එම කාලසීමාව තුළ අදාළ වැසිකිළි පද්ධතිය පිරිසිදු කිරීමට ද සේවකයන් ගොස් නොමැති බවත් තොරතුරු අනාවරණය වී තිබේ.

එදින සවස 5.00ට පමණ දේශන අවසන් කර දිය නෑම සඳහා ගිය වෙනත් තරුණයෙකු විසින් අදාළ තරුණයා වැසිකිළිය තුළ ඇද වැටී සිටිනු දැක ඒ බව සෙසු පිරිසට දැනුම් දී ඇත.

සෙසු පිරිස පැමිණ පරීක්ෂා කිරීමේදී තරුණයාගේ ගෙල වටා ඔහුගේ ටයි පටිය සහ වැසිකිළි දොරට සවි කර තිබූ කළු පැහැති දිගු රබර් පටියක් ගැට ගැසී තිබෙනු දැක ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ ඔවුන් එම පටි ලිහා දමා ඔහුව ගිලන් රථයක් මගින් වරකාපොළ රෝහල වෙත රැගෙන ගොස් ඇත.




කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කරන විටත් තරුණයා මියගොස් සිටි බව පොලිසිය තහවුරු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලිසිය විසින් කරුණු වාර්තා කිරීමෙන් පසුව, වරකාපොළ වැඩ බලන මහෙස්ත්‍රාත් චමින්ද ඩී. කොටුවේගොඩ මහතා විසින් පෙරේදා (21) පෙරවරුවේ මළ සිරුර සහ ස්ථානීය පරීක්ෂණ සිදු කරන ලදී.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු සිරුර පියා වන වලිසුන්දර මුදියන්සේලාගේ චමල් බණ්ඩාර මහතාට භාර දීමටත්, වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමටත් මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

මෙම මරණය සම්බන්ධයෙන් එම වැඩමුළුවට සහභාගි වූ සෙසු තරුණයන් 15 දෙනෙකුගෙන් පමණ පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය මංගල කුමාර මහතා විසින් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙය හුස්ම සිරවීමෙන් සිදුවූ මරණයක් බවට නිගමනය කෙරිණි.

වරකාපොළ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක සිරිමාන්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.


Previous Post Next Post

Contact Form