මගේම රටේ මේ වගේ තත්ත්වයක් ඇති වුණත් මේ වගේ ජනතාවගේ පරිත්‍යාගශීලීත්වයක් දකින්න ඉඩක් නැති වෙන්න පුළුවන් UN නියෝජිතයා කියයි

 දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ශ්‍රී ලංකාවේ ජනතාව නැවත නගා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව එම සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඔන්ඩ්‍රේ ෆ්‍රාන්ච් (Marc-André Franche) පවසයි.


කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ඊයේ (දෙසැ: 11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, ශ්‍රී ලංකාවට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මිලියන 02කට ආසන්න ජනතාවක් පීඩාවට පත්ව ඇති බව ය.

මූලික ඇස්තුමේන්තුවට වඩා සිදුව ඇති හානිය විශාල බවත්, මෙම හදිසි තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා දිගු කාලීන හා කෙටි කාලීන විසඳුම් ලබාදීමට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අවශ්‍ය බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේදී පැවසුවේ ය.

'ඉක්මනින් සහන සලසන්න අවශ්‍ය යි'

විපතට පත් මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා ආපදා තත්ත්වය ආරම්භයේ සිට ම කටයුතු කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඔන්ඩ්‍රේ ෆ්‍රාන්ච් (Marc-André Franche) එහිදී පැවසීය.

කොවිඩ් වසංගතයෙන් පසුව මෙරට ඇති වූ ආර්ථික කඩා වැටීම සහ ඉන්පසුව මෑත 20 වසරක කාලය තුළදී ශ්‍රී ලංකාව මුහුණ දුන් භයානක ස්වාභාවික ව්‍යවසනය හමුවේ පීඩාවට පත්ව සිටින මිලියන 2.2කට ආසන්න ජනතාවට සහන සැලසිය යුතු බව ද ඔහු එම මාධ්‍ය හමුවේදී පැවසුවේ ය.

"ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 25%ක පමණ ප්‍රමාණයක් දරිද්‍රතාවට මුහුණ දී සිටිනවා. ඔවුන්ට සහන සැලසීම සිදුකළ යුතු යි.මෙම ව්‍යසනය හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ එකමුතුකම සහ පරිත්‍යාගශීලිත්වය මම දැක්කා. මම ඇත්තට ම ඒක අගය කරනවා. සමහර විට මගේ ම රටේ මේ වගේ තත්ත්වයක් ඇති වුණත් මේ වගේ ජනතාවගේ පරිත්‍යාගශීලීත්වයක් දකින්න ඉඩක් නැති වෙන්න පුළුවන්."

"මෙම ව්‍යසනය ආරම්භයේදී ඉඳලා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජය වගේ ම, ආපදා කළමනාකරණ ඒකකය එක්ක වැඩ කළා. අපි මුලින් ම අවශ්‍ය පිසූ ආහාර වගේ ම පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කරලා දෙන්න කටයුතු කළා."

"එක්සත් ජාතීන්ගේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණයක් තියෙනවා. ඒ හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5ක් ලංකාවේ ඇති වූ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් වෙන් කර තියෙනවා," ඔහු පැවසුවේ ය.

Previous Post Next Post

Contact Form