වාහන නැවැත්වීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව, කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පිරිසක් මෝදර, ශාන්ත ජේම්ස් වීදියේ පිහිටි නිවාඩු නිකේතනයකට කඩා වැදී දේපළවලට හානි කර පහර දීමේ සිද්ධියක් වාර්තා වේ. මෙම කලහකාරී හැසිරීම සහ පහරදීම සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස කොළඹ 15, මෝදර පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් පූජා භාණ්ඩ වෙළඳාමේ නිරත වන පිරිසක් බව පොලිසිය තහවුරු කරගෙන තිබේ.පොලු මුගුරු රැගෙන බලහත්කාරයෙන් නිවාඩු නිකේතනය තුළට ඇතුළු වූ මෙම පිරිස එහි හිමිකරුට, ඔහුගේ නීතිඥ පුතණුවන්ට සහ සේවක මණ්ඩලයට පහර දී ඇති අතර ගොඩනැගිල්ලේ දේපළවලට ද දැඩි අලාභහානි සිදු කර තිබේ. පහරදීම අතරතුර නිවාඩු නිකේතනයේ හිමිකරු සතු මුදල් පසුම්බි ද සොරාගෙන තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, සැකකරුවන් පැමිණි මෝටර් රථය සහ ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අමතරව මෙම පහරදීමට සම්බන්ධ තවත් පුද්ගලයන් සහ නඩු භාණ්ඩ සොයා ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය. මෝදර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.පී. රත්නායක මහතාගේ උපදෙස් මත සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
