කලාඔය පාලම මතදී සැඩ පහරට හසුවූ බස් රථයේ රියැදුරාට එරෙහිව මිනී මැරුම් චෝදනා...

කලාඔය බස් අනතුර

ඡායාරූප මූලාශ්‍රය,Facebook

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා මහාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු මගීන් 68 දෙනෙකු රැගත් බස් රථයක් ධාවනය කර මගීන් දෙදෙනකු මරණයට පත් කර තවත් මගීන් 66 දෙනෙකුගේ ජීවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් එම බස් රථයේ රියැදුරා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

මහාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු මගීන් 68 දෙනෙකු රැගත් පෞද්ගලික බස් රථය, පොලිස් නිලධාරීන්ගේ අවවාද සහ මහ ජනතාවගේ ඉල්ලීම් නොතකමින් ධාවනය කර බස් රථය සැඩ පහරට ගසාගෙන යාමට සලස්වා මගීන් පිරිස අනතුරක හෙළීමට අදාළ චෝදනා මත ඔහු ජනවාරි 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නොච්චියාගම මහේස්ත්‍රාත් පී.ආර්.අයි ජමීල් නියෝග කළේ ය.

රාජාංගණය පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ, එහි රියැදුරා වූ සාලියවැව, ඉහළ පුලියන්කුලම, බලගොල්ලාගම පදිංචි ධනුෂ්ක කුමාරසිංහ නැමත්තෙකි.

කලාඔය බස් අනතුරෙන් බේරුණු මගීන්
ඡායාරූප ශීර්ෂ වැකිය,කලාඔය බස් අනතුරෙන් දිවි බේරා ගත් මගීන්

මිනී මැරුම් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා

මෙම සැකකාර පෞද්ගලික බස් රථ රියැදුරාට ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය මගින් කියැවෙන මිනී මැරුම් චෝදනා සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය මගින් කියැවෙන මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා ගොනු කර තිබීම විශේෂත්වයකි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරිවරයා පැවසුවේ, මිනී මැරුම් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා යටතේ සැකකාර රියැදුරාට එරෙහිව මෙම නඩුව පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව ය.

ඒ අනුව, සැකකරුට එරෙහිව මිනී මැරුම් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා එල්ල කිරීම යුක්තිසහගත සහ සාධාරණ නොවන බව ප්‍රකාශ කළ නීතිඥයින් සැකකරුට එරෙහිව එල්ල කර ඇති මිනී මැරීම් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා ඉවත් කර සැකකරු ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේ ය.

දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් නොච්චියාගම මහේස්ත්‍රාත්වරයා, සැකකරුට එරෙහිව රාජාංගණය පොලිසිය විසින් එල්ල කරනු ලැබ ඇති මිනී මැරම් චෝදනා සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා ඉවත් කරන ලෙස සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කළ ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කළේ ය

Post a Comment

Previous Post Next Post

Contact Form