විදුලි ගාස්තු සංශෝධනය පිළිබද තීරණයක්

 නිසි කාලය තුල විධිමත් ගාස්තු සංශෝධන යෝජනාවක් ලංවීම විසින් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් 2026 පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

 



කොමිෂන් සභාව මෙම තීරණයට එළඹියේ විධිමත් යෝජනාවක් නිශ්චිත කාලයට පෙර ඉදිරිපත් නොකිරීම, මුල් යෝජනාවේ දෝෂ සහගත බව සහ මෙම කාර්තුව සදහා ඉදිරියේදී නව යෝජනාවක් ලංවීම විසින් ඉදිරිපත් කරනු ලැබුවද කාර්තුවේ ඉතිරි කෙටි කාලයක් සදහා සංශෝධනයක් ක්‍රියාවට නැගීමෙන් ඉහළ ප්‍රතිශතයකින් ගාස්තු වෙනස් වීමේ අවාසි ආදි කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි.


2026 ජනවාරි සිට මාර්තු දක්වා සදහා වු ගාස්තු සංශෝධන යෝජනාව පසුගිය වර්ෂයේ නොවැම්බර් 14 වැනි දින වන විට ඉදිරිපත් කරන ලෙස කොමිෂන් සභාව විසින් එම වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී ලිපියක් මගින් ලංවීමට දන්වා තිබුණා. 

එහෙත් 2026 පළමු කාර්තුව සදහා ලංවීම සිය යෝජනාව ඉදිරිපත් කර තිබුණේ 2025 දෙසැම්බර් 29 වැනි දිනයි. 

එම යෝජනාවේ පැවති දෝෂ හේතුවෙන් නිසි යෝජනාවක් 2026 ජනවාරි 8 වැනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙස කොමිෂන් සභාව 2026 ජනවාරි 5 වැනි දින ලංවීමට දන්වා සිටි අතර නිවැරැදි කරන ලද යෝජනාව ඉදිරිපත් කිරීමට තවදුරටත් ප්‍රමාද වන බව ලංවීම විසින් 2026 ජනවාරි 8 වැනි දින කොමිෂන් සභාවට දන්වා තිබෙනවා. 

මේ දක්වා සංශෝධිත යෝජනාවක් කොමිෂන් සභාව වෙත ලැබී නොමැති අතර එම යෝජනාව ලැබීමෙන් අනතුරුව සමාලෝචනය හා මහජන උපදේශන වලින් පසුව ක්‍රියාවට නගනු හැකි වනුයේ 2026 පළමු කාර්තුවේ අවසන් කාල පරිච්ඡේදය සදහායි. 

කාර්තුවේ කෙටි කාලයක් සඳහා ආදායම් හා වියදම් වෙනස්කම් ගැලපීමෙන් සංපේක්ෂව ඉහල ප්‍රතිශතයකින් විදුලි ගාස්තු වෙනස් විය හැකි බව නිරීක්ෂණය වී තිබේ. එය ජාතික ආර්ථිකයට වඩා අහිතකර ලෙස බලපා හැකි බවයි එම කොමිසම පවසන්නේ.

වලංගු ගාස්තු සංශෝධනයක් නිසි කලට ඉදිරිපත් නොකිරීම හා කාර්තුවේ කෙටි කාලයක් සදහා ගාස්තු සංශෝධනයක් ක්‍රියාවට නැගීමෙන් ආර්ථිකයට ඇති විය හැකි අහිතකර බලපෑම් සළකා බැලීමෙන් අනතුරුව පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමටයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් තීරණය කර ඇත්තේ. 

එමෙන්ම 2026 දෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධන යෝජනාව 2026 පෙබරවාරි මස 13 වැනි දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙසද කොමිෂන් සභාව විසින් ලංවිමට දන්වා තිබෙනවා.

Post a Comment

Previous Post Next Post

Contact Form