වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයම කම්පාවට පත් කරමින් වාර්තා වූ අතිශය ශෝකජනක පුවතක් වූයේ, දහහත් හැවිරිදි තරුණියක ගිංඔයට පැන දිවි හානි කර ගැනීමේ සිද්ධියයි. මෙය හුදෙක් එක් තරුණියකගේ අවාසනාවන්ත මරණයක් පමණක් නොව, යොවුන් ප්‍රේම සම්බන්ධතාවක ඛේදජනක නිමාවක් සනිටුහන් කළ අවස්ථාවක් ලෙස ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහට ලක්ව තිබේ.
වසර ගණනාවක් පුරා පැවති ප්‍රේම සම්බන්ධතාවයක් දුරදිග ගොස් ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් එක් ජීවිතයක් අකාලයේ අහිමි වී තවත් ජීවිතයක් නීතියේ රැහැනට හසුවන තැනට කටයුතු සිදුවී ඇත. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ, කලක් වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේ පදිංචිව සිට, සිද්ධිය වන විට තාවකාලිකව කොච්චිකඩේ පෝරුතොට පදිංචිව සිටි මෝහණ කුමාර් උමයංගනා සත්සරණී නම් තරුණියකි.මියගිය උමයංගනා සහ මෙම සිද්ධියට සම්බන්ධ බව කියන වෙන්නප්පුව නයිනමඩම ගිංඔය මාවතේ පදිංචි මෙරිංඥගේ රුමේෂ් ලක්ෂාන් නම් දහඅට හැවිරිදි තරුණයා අතර දීර්ඝ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පැවති බවට තොරතුරු වාර්තා වේ. ඔවුන් දෙදෙනා අතර පැවති මෙම සම්බන්ධතාවය රහසිගත එකක් නොවූ අතර, දෙපාර්ශවයේම වැඩිහිටියන් පවා ඒ පිළිබඳව දැනුවත්ව සිටි බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. දෙමාපියන්ගේ ආශිර්වාදය හෝ අවබෝධය මැද පවත්වාගෙන ගිය මෙම සම්බන්ධතාවය හදිසියේ බිඳ වැටීමට හෝ ගැටුම්කාරී තත්ත්වයකට පත්වීමට හේතු වී ඇත්තේ සැකසහිත සිදුවීමක් මුල් කරගෙනය.
සිද්ධිය වූ ඉකුත් 28 වැනිදා සවස මෙම තරුණිය තම පෙම්වතා වන රුමේෂ් ලක්ෂාන්ගේ වෙන්නප්පුව නයිනමඩම පිහිටි නිවසට පැමිණ ඇත. ඇය එහි විනාඩි විස්සක පමණ කාලයක් රැඳී සිට ඇති අතර, එම කාලය තුළ දෙදෙනා අතර බහින්බස්වීමක් හටගෙන තිබේ. මෙම බහින්බස්වීමට මූලික හේතුව වී ඇත්තේ තරුණිය වෙනත් අයෙකු ඇසුරු කරන බවට පෙම්වතා තුළ ඇති වූ සැකයකි. මෙම සැකය මුල් කරගෙන දෙදෙනා අතර වචන හුවමාරුවක් සිදුව ඇති බව පොලිසියට ලබා දී ඇති ප්‍රකාශවල සඳහන් වේ. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී පෙම්වතා විසින් තරුණියට රුපියල් 2,000 ක මුදලක් ලබා දී ඇති අතර, එයද රැගෙන ඇය එම නිවසින් පිටව ගොස් තිබේ.
මෙම ඛේදවාචකයේ තීරණාත්මක මොහොත උදා වී ඇත්තේ ඇය පෙම්වතාගේ නිවසින් පිටව ගිය පසුවය. නිවසින් පිටව ගිය තරුණිය සුළු වේලාවකට පසුව නැවතත් තම පෙම්වතාට දුරකතන ඇමතුමක් ලබා දී තිබේ. එහිදී ඇය ඉතා අසරණව පවසා ඇත්තේ තම මව තමන්ට බැන වදින බවත්, ඒ හේතුවෙන් තමන්ට නැවත ගෙදර යාමට බියක් දැනෙන බවත්ය. කෙසේ වෙතත්, ඒ වන විටත් ඇති වී තිබූ බහින්බස්වීම නිසා කෝපයෙන් සිටි පෙම්වතා දුරකතනය හරහාද ඇයට බැන වැදී ඇත. නමුත් මවගේ දෝෂාරෝපණයත්, තමන්ගේ දෝෂාරෝපණයත් යන දෙකම නිසා ඇය දැඩි මානසික පීඩනයකට ලක්ව ඇතැයි සිතූ රුමේෂ් ලක්ෂාන්, වහාම ක්‍රියාත්මක වී තම මිතුරෙකු ද සමග ඇය සොයා යාමට තීරණය කර තිබේ.
ඇය සිටින බව කියන නයිනමඩම ගිංඔය පාලම අසලට තරුණයා සහ ඔහුගේ මිතුරා යතුරුපැදියකින් ගමන් කර ඇත. ඔවුන් අදාළ ස්ථානයට ළඟා වනවාත් සමඟම දුටු දසුනින් මහත් සේ තැතිගෙන තිබේ. ඒ වන විටත් පාලම මත සිටි උමයංගනා, තරුණයා තමන් වෙත එනු දකිත්ම එකවරම ගිංඔයට පැන ඇත. ඇය දියේ ගිලෙනු දුටු රුමේෂ් ලක්ෂාන් ඇයව බේරා ගැනීමේ අරමුණින් වහාම ගිංඔයට පැන ඇති නමුත්, දෛවය ඊට හරස් වී ඇත. කොතෙක් උත්සාහ කළද ඇයව දියෙන් ගොඩ ගැනීමට ඔහුට නොහැකි වී ඇති අතර, ඔහුට සිදු වී ඇත්තේ හිස් අතින් ගොඩට පැමිණීමටය.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසුව ගිංඔයේ අතුරුදන්ව සිටි තරුණියගේ සිරුර සොයා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව දැවැන්ත මෙහෙයුමක් දියත් කරන ලදී. ඒ අනුව පසුදින, එනම් 29 වැනිදා පෙරවරුවේදී ගිංඔයේ තිබී ඇයගේ නිසල සිරුර සොයා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකි විය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, අදාළ පෙම්වතා මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන බව වාර්තා වේ.