මන්ත්‍රී රන්වලගේ වාහනයේ තිරිංග දෝෂයක් තිබී ඇති බව හෙළිවෙයි!

 රිය අනතුරකට ලක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසයි.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අනතුරට සම්බන්ධ අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ වාහනයේ පරීක්ෂණ වාර්තාව පමණක් පොලීසිය වෙත ලැබී ඇති බව ද ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව අශෝක රන්වල මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග නිසි නඩත්තුවක් සිදුකර නොමැති බවට සහ තිරිංග පද්ධතියේ ගැටලුවක් ඇති බවට එම වාහන පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසන්නේ, වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය පියවර තීරණය කරන බවය.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රීයේ අශෝක රන්වල මන්ත්‍රීවරයා ධාවනය කළ ජිප් රථය තවත් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුවු අතර එම අනතුරින් මන්ත්‍රීවරයා සහ අනෙක් මෝටර් රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලැබීය.



Previous Post Next Post

Contact Form