ස්වභාවධර්මයට පටහැනි වීමෙන් ස්වභාවික විපත් නිර්මාණය වෙනවා – ආදිවාසී නායක වන්නිල ඇත්තෝ

නොසැලකිලිමත් සංවර්ධන ව්‍යාපෘති සහ ස්වභාවධර්මයට පටහැනි මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වත්මන් ස්වභාවික විපත් නිර්මාණය වී ඇති බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසනවා.
ස්වභාවධර්මය පාලනය කිරීමට මිනිසා උත්සාහ නොකළ යුතු බවයි ඔහු පවසා සිටියේ. ඌරුවරිගේ වන්නිල ඇත්තෝ මේ බව කියා සිටියේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. වසර දහස් ගණනක් මහ වනාන්තරවලින් වැසුණු කඳු පන්ති අවිධිමත් සංවර්ධන කටයුතු නිසා විනාශ කර ඇති බවත්, මෑතකදී ඇති වූ නායයෑම්, ගල් පෙරළීම් සහ ගංවතුර මෙහි සෘජු ප්‍රතිඵල බවයි ඔහු පෙන්වා දුන්නේ. මිනිසා ස්වභාවධර්මයට කළ විනාශයට සොබාදහම ඉතා දරුණු ලෙස ප්‍රතිචාර දක්වා ඇති බවත් ඔහු පවසනවා. මෙහිදී ස්වභාවධර්මයේ මිතුරන් මෙන්ම සතුරන් යන දෙපිරිසටම එක හා සමානව දුක් විඳීමට සිදුව ඇති බවතයි වන්නිල ඇත්තෝ පැවසුවේ. ආදිවාසී ජනතාව ජීවත් වන ප්‍රදේශවලට සෘජු හානි සිදු නොවූවත්, ආපදා තත්ත්වය නිසා සංචාරකයින්ගේ පැමිණීම නතර වී ඇති බවයි ඔහු සඳහන් කළේ. මේ හේතුවෙන් සංචාරක කර්මාන්තය මත යැපෙන ආදිවාසී පවුල් 100කට අධික ප්‍රමාණයක් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. මෙම ආපදා තත්ත්වය මුළු රටටම දැඩි ආර්ථික බාධකයක් බවත්, මිනිසුන් පණපිටින් පස් කඳුවලට යටවී මියයාම පිළිබඳව තමා දැඩි සේ කනගාටු වන බවත් ආදිවාසී නායකයා පැවසුවා. මේ අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ මිනිසා ස්වභාවධර්මයේ කොන්දේසිවලට යටත් විය යුතු බවත් ඒවා උල්ලංඝනය කළහොත් මෙවැනි විපත්වලට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදුවන බවයි.
Previous Post Next Post

Contact Form