සිඩ්නිහිදී බොන්ඩයි බීච් හිදී සිදුවූ වෙඩිතැබීමේ දී, ත්‍රස්තවාදියකු නිරායුධ කිරීමට නිර්භීතව උත්සාහ කළ ඕස්ට්‍රේලියානු යුවළක් වෙඩි වැදීමෙන් පසු එකිනෙකා වැළඳගෙන මිය ගිය ආකාරය දැක්වෙන හද කම්පා කරවන වීඩියෝවක් නිකුත් වී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ වසර 30කට ආසන්න කාලයක් තුළ සිදු වූ දරුණුතම සමූහ වෙඩි තැබීම ලෙස සැලකෙන මෙම ප්‍රහාරයේදී, සජිඩ් අක්‍රම් සහ ඔහුගේ පුත් නවිඩ් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද වින්දිතයින් 15 දෙනාගෙන් මෙම යුවළ, පළමු ගොදුර බවට පත්ව තිබුණා.
බොන්ඩයිහිදී ම ජීවත්වන මොවුන්ට මෙම ඛේදවාචකය සිදු වූයේ සිය 35 වන විවාහ සංවත්සරයට සති කිහිපයකට පෙරයි.
පසුගිය ඉරිදා හනුක්කා සැමරුමක සිටි යුදෙව් ප්‍රජාව ඉලක්ක කරගනිමින් සිදුවූ මෙම වෙඩැතිබීමේදී මෙලෙස මියගියේ 69 හැවිරිදි බොරිස් ගුර්මන් සහ ඔහුගේ 61 හැවිරිදි බිරිඳ සොෆියා ගුර්මන් යන දෙදෙනායි.
ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ධජයකින් ආවරණය කරන ලද මෝටර් රථයකින් ගිනි අවි රැගත් ත්‍රස්තවාදියෙකු එළියට එනු දැක, ඔහුට බාධා කිරීමට මොවුන් දෙදෙනා උත්සාහ දරා තිබුණා.
වාහනයක තිබූ ඩෑෂ් කැම් දර්ශනවලට අනුව, බොරිස් නිර්භීතව සාජිඩ් අක්‍රම් නම් ත්‍රස්තවාදියා සමඟ පොරබදමින් ගිනි අවියක් උදුරා ගන්නා ආකාරය පෙනීයනවා.
සොෆියා ඔහුට උදව් කිරීමට දිව ගොස් ඇති අතර බොරිස්, ගිනි අවිය මහා ඝාතකයා වෙත එල්ල කළ නමුත්, ත්‍රස්තවාදියා තවත් රයිෆලයක් අතට ගෙන තිබුණා.
අවසානයේදී එම ස්ථානය අසලදීම මොවුන් දෙදෙනාට ත්‍රස්තවාදියා විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙන බවයි විදෙස් වාර්තා අනාවරණය කළේ.
ඩ්‍රෝන් වීඩියෝවකින් දැක්වුණේ ඔවුන් මියගිය ස්ථානයේ එකිනෙකා වැළඳගෙන සිටි ආකාරයයි.
මොවුන් දෙදෙනාගේ පවුලේ අය ප්‍රකාශ කළේ, ඔවුන්ගේ නිර්භීතකම සහ පරාර්ථකාමීත්වය පිළිබඳව තමන් දැඩි ආඩම්බරයක් දැනෙන බවයි.
මෙම ඛේදනීය සිදුවීම අතරතුර, තවත් දෙදෙනෙකු ත්‍රස්තවාදීන්ට පහර දීමට උත්සාහ කළා.
දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන මුස්ලිම් ජාතික අහමඩ් අල් අහමඩ් එක් තුවක්කුකරුවෙකුට පිටුපසින් පහර දී ඔහුව නිරායුධ කළ අතර, කිහිප වතාවක් වෙඩි වැදී තිබියදීත් දිවි ගලවා ගත්තා. සිරියාවෙන් පැමිණ එරට පුරවැසිභාවය ලද අහමඩ් එරට අගමැතිවරයා හැඳින්වූයේ ඕස්ට්‍රේලියාවේ ‘හොඳම පුරවැසියා’ ලෙසයි.
අනෙක් වීරයා වූ 62 හැවිරිදි රියූවන් මොරිසන්, එක් ත්‍රස්තවාදියෙකුට ගඩොල් කැබැල්ලක් විසි කිරීමට සමත් වූ නමුත්, පසුව ඔහු ද වෙඩි තබා ඝාතනය කර තිබුණා.
Tags
විදෙස්
