සිඩ්නි වෙරළේ වෙඩිතැබීමේ වෙඩික්කරුවෙක් හඳුනාගනී!

 ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩයි වෙරළේ අද පස්වරුවේ යුදෙව් ප්‍රජාවගේ හනුක්කා උත්සවයක් ඉලක්ක කර ගනිමින් සිදු වූ වෙඩි ප්‍රහාරයට වගකිවයුතු බවට හඳුනාගත් වෙඩික්කරුවන් දෙදෙනාගෙන් එක් අයකු ‘නවීඩ් අක්‍රම්’ බවට හඳුනාගෙන ඇතැයි එරට ඒබීසී පුවත් වාර්තා කරනවා.



පොලිසිය වෙඩික්කරුගේ නිවස පිහිටි සිඩ්නි නිරිතදිග ප්‍රදේශයේ වීදියක් වටලා තිබෙනවා. 

එය වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 50ට වඩා දුරින් පිහිටා ඇති බව සඳහන්.


අක්‍රම් පාකිස්ථාන ජාතිකයෙක් බවත් නිව් සවුත් වේල්ස් හි ජීවත් වූ බවත් ඇතැම් වාර්තාවල දැක්වෙනවා.


වෙඩික්කරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් වෙඩි තබා මරා දමා තිබුණා.

අනෙක් වෙඩික්කරු වෙඩි වැදී බරපතල තත්ත්වයෙන් පොලිස් අත්අඩංගුවේ සිටිනවා.

ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් වෙඩික්කරු ද හඳුනාගෙන ඇතත් මාධ්‍ය මගින් ඔහුගේ ඡායාරූප පළකර නැහැ.

මියගිය අය අතර ළමයින්, එක් පොලිස් නිලධාරියෙක් සහ වෙඩික්කරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ද සිටිනවා.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 18 දෙනෙක් සිඩ්නි හි රෝහල් වෙත ගෙන ගොස් තිබෙනවා.

බොන්ඩයි උද්‍යානය පිටුපස පාලමේදී වෙඩික්කරුවන්ගේ අවසන් සටන ඩ්‍රෝන් දර්ශන මගින් පටිගත වී තිබුණා.

පොලිසිය සැක කරනු ලබන IED (තාවකාලික පුපුරණ ද්‍රව්‍යයක්) සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරන අතර, පදිකයන්ගේ පාලමක් යට එම උපකරණය තබා ඇති බවට තහවුරු නොවූ වාර්තාවක් ද ලැබී ඇතැයි සඳහන්.

පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයන් විසින් සැක කටයුතු ද්‍රව්‍ය ගණනාවක් ද පරීක්ෂා කරමින් සිටින බවයි මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

මෙම වෙඩි තැබීමට සම්බන්ධ වෙනත් සිදුවීම් සිඩ්නි හි වාර්තා වී නොමැති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.
Previous Post Next Post

Contact Form