භූ කම්පන සිදුවූ ප්‍රදේශවල අවදානම 4 ගුණයකින් වැඩිවෙලා

 


වයින ආසන්නයේ ඇති පීඩන අවපාතය දිවයිනට ඇතුළු වීමෙන් පසුව භූ කම්පන සිදුවූ ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ භූමිවල අවදානම හතර ගුණයකින් වැඩි වී ඇති බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

පෙර වර්ෂාපතනයේදී සක්‍රීය වූ නායයෑම්වල ශේෂ වූ කොටස් මෙවර අධික වර්ෂාපතනයක් ඇති වන විට නැවත සක්‍රීය වීමේ හැකියාව සියයට අනූවක් තරම් දැඩි බව ද හෙතෙම කියා සිටියේය.

මෙම පීඩන අවපාතය පෙරේදා 09 දා සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් දිවයිනට ඇතුළුවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් රතු නිවේදනයක් නිකුත් කරමින් කියා තිබිණි.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති ගැඹුරු පීඩන අවපාතය මඩකලපුව සිට කිලෝමීටර් 170 ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබී වයඹ දෙසට ගමන් කරමින් පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර වෙරළ තීරයෙන් දිවයිනට ඇතුළුවීමට බොහෝ දුරට ඉඩ පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. එහි තවදුරටත් මෙසේ ද සඳහන් වේ.

මෙම පද්ධතිය හේතුවෙන් උතුර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල පැයට කිලෝමීටර් 50 -60 ත් අතර ඉතා තද සුළං ඇති විය හැක. විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යෑමේ අවදානමක් පවතී. මීට අමතරව බස්නාහිර, වයඹ, ඌව සහ මධ්‍යම පළාත්වල ද විටින් විට පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා වන තද සුළං ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇති අතර ජනවාරි 10 සහ 11 යන දිනවලදී මෙම සුළං තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි පුරෝකථනය කර ඇත.

වැසි තත්ත්වය සලකා බැලීමේදී මුලතිව්, යාපනය, වවුනියා, මන්නාරම, කිලිනොච්චි, අනුරාධපුර, පොලොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ. අම්පාර, මඩකලපුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ද මිලිමීටර් 100 ට වැඩි තද වැසි හෝ මිලිමීටර් 50-75 අතර තරමක තද වැසි අපේක්ෂා කළ හැකි අතර සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.

එසේම මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින වටා මුහුද්‍ර ප්‍රදේශ රළු විය හැකි බැවින් නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසත් නිවේදනය කර ඇත. විශේෂයෙන් උතුරු අක්ෂාංශ 04 – 14 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 76 – 85 ත් අතර මුහුදු කලාපය තුළ යාත්‍රා කිරීම ඉතා අනතුරුදායක වන බැවින් එම කලාපවලට යෑමෙන් වැළකී සිටිය යුතු අතර, දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණිය යුතු බව දන්වා සිටිනු ලැබේ.

එබැවින් ඇතිවිය හැකි ආපදා අවදානම් තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් දැඩි සුළං සහ අධික වර්ෂාව නිසා ඇතිවිය හැකි නායයෑම් වැනි ආපදා අවදානම් තත්ත්වයන් පිළිබඳව විමසිලිමත් වන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැනි තාක්ෂණික ආයතන විසින් ලබාදෙන අනතුරු ඇගවීම් සහ උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් මේ සම්බන්ධ තොරුතුරු ලබාගන්නා ලෙසත් ජනතාවට දැනුම් දෙයි.


Post a Comment

Previous Post Next Post

Contact Form