පොළොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන්ට තියුණු ආයුධයකින් පහර දීමට තැත් කළ පුද්ගලයෙකු පොලීසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් නිලධාරීන් අදාළ යතුරුපැදිය නතර කරන ලෙස සංඥා කළ ද, සැකකරුවන් එය නොනවත්වා ධාවනය කර ඇති අතර, පසුව පොළොන්නරුව රථවාහන අංශයේ නිලධාරීන් ඔවුන් ලුහුබැඳ ගොස් ඇත්තේ සැකකරුවන් ගංජා හෝ වෙනත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටින බවට ඇතිවූ සැකය මත ය.
යතුරුපැදියේ පැමිණි තිදෙනාගෙන් දෙදෙනෙකු පලාගොස් ඇති අතර, ප්‍රධාන සැකකරු සිය නිවසට දිවගොස් කඩුවක් වැනි තියුණු ආයුධයක් රැගෙනවිත් පොලිස් නිලධාරියෙකු දණ ගස්වා පහර දීමට උත්සාහ කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් නිලධාරියෙකු විසින් සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර ඇති අතර, ඉන් සැකකරුගේ පාදයට සහ පපුව ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇත.
වෙඩි වැදීමෙන් පසු ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව තුවාලකරු වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණ ද, රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ කන්දකාඩු, සිංහපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ගාර්දි අම්බ්‍රෝඩ් කංකානම්ගේ තිලකසිරි නැමැත්තෙකු බව හඳුනාගෙන තිබේ.
මියගිය පුද්ගලයා හෙරොයින් සහ අයිස් වැනි මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බවත්, මීට පෙර මත්ද්‍රව්‍ය චෝදනා හතක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී ඇති අතර තවත් අපරාධ නඩු දෙකක් විභාග වෙමින් පවතින බවත් පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරන අතර, පලාගිය අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.