දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පහළ කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයෙන් නිකුත් කළ ජලය හේතුවෙන් ඔරුතොටවැල්ල වැල් පාලම සම්පූර්ණයෙන් ම විනාශ වී ගොස් තිබෙනවා.
කොත්මලේ බටහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හරංගල හා නයාපාන දෙගම් යා කරමින් කොත්මලා ඔය මතින් ඉදිකර තිබූ " ඔරුතොටවැල්ල වැල් පාලම " හරංගල ඉළුක්තැන්න ,රත්මලපිටිය,හරංගල ,ගල උඩපතන,හල්ගොල්ල ,හපුගස්තලාව ආදී ගම්මානවල මෙන්ම නයාපාන,නුගවෙල,කඩදොර ආදී ප්‍රදේශවල ජනතාවගේ ගමන්පහසුව පිණිස ඉදිකර තිබූ වැල් පාලමක්.
මෙකී වැල් පාලම දැඩිලෙස අබලන් ව තිබූ අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු වර්තමාන රජය මගින් ආරම්භ කර තිබිණා.
පසුගිය නොවැම්බර් මස අවසාන සතියේ ඇති වූ දිට්වා අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් අනතුරුව ගලා ආ විශාල ජල කඳට හසුවූ ඔරුතොටවැල්ල වැල් පාලම සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ගොස් ඇති අතර ඉතිරිව ඇත්තේ ගංගාව දෙපැත්තේ ඉදිකළ කොන්ක්‍රීට් ආධාරක පමණි.
2012 වර්ෂයේ එවක පැවති රජය මගින් මෙම පාලම ඉදිකිරීමට මුදල් වෙන් කර එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළද එම ප්‍රතිසංස්කරණ වසර කිහිපයක් යන්නට මත්තෙන් විනාශ වී ගියේ නියමිත ප්‍රමිතියට සිදු නොකිරීම හේතුවෙන්.
මීට පෙර මෙකී වැල් පාලම ලෑලි ගසා සකසා තිබුණද වර්තමාන රජය ඊට යකඩ තහඩු සවිකර විධිමත්ව ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබූමුත් එකී ප්‍රතිසංස්කරණ සිදුකරන කාලයක මෙලෙස ජලයට හසුව විනාශ වී යාම දැඩි කණගාටුවට කරුණක් බව ප්‍රදේශවාසීන් පවසනවා.



